විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජිත සංශෝධන අළලා වර්තමාන අගවිනිසුරුවරයාව පුද්ගලිකව ඉලක්ක කරගනිමින් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශවයන් එල්ල කරන පහත් අවලාද හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දක්වන දැඩි නිහඬතාවය එම සංගමයේ ගෞරවයට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයටද බරපතල හානියක් බව නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් අබේනායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා වෙත (10) දින විශේෂ ලිපියක් යොමු කරමිනි.
එම ලිපිය මගින් ජගත් අබේනායක මහතා පෙන්වා දෙන්නේ, සියලු විනිසුරුවරුන්ගේ උපරිම විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දැනටමත් ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි.
මෙම යෝජිත සංශෝධනයන් සමස්ත අධිකරණ පද්ධතියටම අදාළ වුවද, ඇතැම් දේශපාලනඥයින් සහ පිරිස් මෙය හුදෙක් වර්තමාන අගවිනිසුරුවරයාට පමණක් ලබා දෙන සේවා දිගුවක් ලෙස හුවමාරු කරමින් මහජනතාව සහ පූජ්‍ය පක්ෂය නොමඟ යවන සුළු ප්‍රචාරයන්හි නිරත වන බව ඔහු සඳහන් කරයි.
යෝජිත සංශෝධන සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ සහ මිශ්‍ර අදහස් පැවතුණ ද, නීතිඥ සංගමය මෙයට එරෙහිව ප්‍රසිද්ධියේ ස්ථාවරයක් ගෙන ඇති බවත්, එම විරෝධය හුදෙක් ප්‍රතිපත්තිමය විවේචනයක් පමණක් මිස අගවිනිසුරුවරයා කෙරෙහි පුද්ගලිකව දක්වන විරෝධයක් නොවන බව තමන් මෙතෙක් විශ්වාස කළ බවත් නීතිඥ ජගත් අබේනායක මහතා පවසයි.
කෙසේ වෙතත්, මෑතකදී පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඇතැම් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් විසින් අගවිනිසුරුතුමාව පුද්ගලිකව ඉලක්ක කරගනිමින් ඉතා පහත් අන්දමේ අවලාද නැගීම තමන් නිරීක්ෂණය කළ බව ඔහු සඳහන් කරයි.
වෙනත් කවර හෝ අවස්ථාවක ධූරය දරන විනිශ්චයකාරවරයෙකුට මෙවැනි අවලාද එල්ල වූයේ නම්, නීතිඥ සංගමය එය සමස්ත අධිකරණයට හා නීතියේ ආධිපත්‍යයට කරන ලද බරපතල පහරක් ලෙස සලකා දැඩි ලෙස විරෝධය පාන නමුත් මෙවර ධූරය දරන අගවිනිසුරුවරයා ඉලක්ක කරද්දී නීතිඥ සංගමය මුළුමනින්ම නිහඬව සිටීම තමන්ගේ දීර් කාලීන නීතිඥ දිවිය තුළ කිසිසේත්ම අපේක්ෂා නොකළ වාතාවරණයක් බවත් නීතිඥ ජගත් අබේනායක මහතා ලිපිය මගින් පවසයි
මෙකී අරුත් ගැන්විය නොහැකි දැඩි නිහඬතාවය නිසා නීතිඥ සංගමය ද එකී පහත් ප්‍රකාශ අනුමත කරමින් අප්‍රකාශිත එකඟතාවයක් දක්වනවාද යන්න පොදු ජන මනස තුළ චිත්‍රණය වීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම තමන්ට එල්ල වන අවලාද හමුවේ ඊට ප්‍රතිචාර දැක්වීමට විනිසුරුවරයෙකුට ඇති නොහැකියාව හමුවේ, අදාළ විනිසුරුවරයා වෙනුවෙනුත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙනුත් ඉදිරිපත් වී ක්‍රියා කිරීම සංගමයේ වගකීම බව ඔහු අවධාරණය කරයි.
කෙසේවෙතත් සංගමයේ සාමාජිකයින්ට පෞද්ගලික දේශපාලනික මතිමතාන්තර තිබිය හැකි වුවද, පෞද්ගලිකත්වය හෝ ආවේගයන් සංගමය ලෙස ප්‍රකාශ වීම හෝ ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬව සිටීම මගින් යම් යම් අදහස් සමාජයට ඒත්තු ගැන්වීමට ඉඩ හැරීම නීතිඥ සංගමයේ ගෞරවයට හා පිළිගැනීමට හානිදායක වන බව ඔහු සඳහන් කළේය.
එබැවින් වර්තමාන අගවිනිසුරුවරයාටත්, එම ධූරයටත්, අධිකරණයටත් සිදුවන මෙම බලපෑමට එරෙහිව වහාම නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉදිරි විධායක කමිටු රැස්වීමේදී විධායක කමිටු සාමාජිකයෙකු ලෙස තමන් නගන මෙම කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් අබේනායක මහතා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි
