ඉන්ධන හා ගමන් වියදම් දීමනා ඉහළ නොදැමීම, විධිමත් සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත නොකිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සියලුම ග්‍රාම නිලධාරීන් අද (10) සහ හෙට (11) දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් සියලුම රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය සහ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.
වසර ගණනාවක සිට පැවති ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදී පරිපාලන බලධාරීන් සහ දේශපාලන අධිකාරිය සාකච්ඡා පවත්වමින් කල් මරන බවට චෝදනා කරමින්, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපි යොමු කරමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ ලේකම් නෙවිල් විජේරත්න මහතා සහ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය මේ බව දැනුම් දී ඇත.
වෘත්තීය සමිති මඟින් පෙන්වා දෙන ප්‍රධාන ගැටලු සහ ඉල්ලීම්
- ඉන්ධන හා ගමන් දීමනා නොලැබීම: වසර 8කින් ඉහළ දමා නොමැති රුපියල් 600ක ගමන් දීමනාව වෙනුවට, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඉන්ධන ලීටර් 20ක දීමනාව හෝ දින 14ක සංයුක්ත දීමනාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
- අර්බුදකාරී සේවා ව්‍යවස්ථාව: වෘත්තීය සමිති සමඟ එකඟ වූ සංශෝධන ඇතුළත් නොකර පරිපාලන බලධාරීන්ගේ සිතැඟි පරිදි සකස් කළ සේවා ව්‍යවස්ථාවක් බලාත්මක කිරීමට එරෙහිව නිසි සේවා ව්‍යවස්ථාවක් ඉල්ලා සිටීම.
- බඳවා ගත් අවස්ථාවේ සිට අසාධාරණයට ලක්ව සිටින 2009/10 කණ්ඩායමේ නිලධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම.
- විෂය භාර නිලධාරීන්ගේ රාජකාරි සහ විවිධ රජයේ වැඩසටහන් බලහත්කාරයෙන් ග්‍රාම නිලධාරීන් මත පැටවීමට එරෙහි වීම.
ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග
- අද (10) සහ හෙට (11) දෙදින පුරා අසනීප නිවාඩු වාර්තා කරමින් සියලුම රාජකාරිවලින් ඉවත් වීම.
- සඳුදා දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැවැත්වෙන රැස්වීම් සහ ක්ෂේත්‍ර රාජකාරි වර්ජනය කිරීම.
- මාසික කොට්ඨාස දින රැස්වීමට හැර ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ දේශපාලන අධිකාරිය විසින් කැඳවනු ලබන අනෙකුත් සියලුම උත්සව, රැස්වීම්, ජංගම සේවා සහ “Clean Sri Lanka” / “අත්තම” පවිත්‍රතා වැඩසටහන් ඇතුළු සියලුම ප්‍රජා සහ ඩෙංගු මර්දන වැඩසටහන් වර්ජනය කිරීම.
ග්‍රාම නිළධාරී වෘත්තීය සමිති සන්ධානය විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් සංයුක්ත දීමනාව හෝ ලබා දෙන තෙක් නිලධාරීන්ගේ ඉන්ධන පිරිවැය පිරිමැසීම සඳහා පහත වෘත්තිය ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යන බව දන්වා තිබේ.
i. සඳුදා දින ග්‍රාම නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරි දිනයක් හෙයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීම ර්වජනය කිරීම. (සඳුදා දින කැඳවන ග්‍රාම නිලධාරීන්ට ගමන් වියදම් ගෙවන බව තහවුරු කරන තුරු ඉහත ර්වජනය ක්‍රියාත්මකයි.)
ii. ග්‍රාම නිලධාරීන් මාසික කොට්ඨාස දින රැස්වීමට පමණක් සහභාගී වීම හා කැඳවන අනෙකුත් සියලූම රැස්වීම් ර්වජනය කිරීම.
iii. කොට්ඨාස දිනයට අමතරව මසකට තවත් එක දිනයක් පමණක් සිය අවශ්‍යතාව මත ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට වාතා කිරීම.
iv. ප්‍රාදේශීය ලේකම්වරයා හෝ වෙනත් පාර්‌ශවයක් විසින් කැඳවන විවිධ වැඩසටහන්, විවිධ රැස්වීම්, ජංගම සේවා සියල්ල ර්වජනය කිරීම.
V. ජනාධිපති ලේකම්ගේ අංක: PS/CSL/Circular/9/2026 හා 2026.07.15 දිනැති චක්‍රලේඛය මඟින් CLEAN SRI LANKA වැඩසටහන යටතේ ” අත්තම ” ජාතික පවිත්‍රතා දින වැඩසටහන – 2026 සඳහා ග්‍රාම නිලධාරීන්ට රාජකාරි පැවරීම ප්‍රතික්ෂේප කරන අතර, එම වැඩසටහන ග්‍රාමීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා ලේකම් මගින් සිදු කර ගන්නා ලෙස දැනුම් දෙමු. කැඳවා ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය අනුව කමිටු සාමාජිකයෙකු ලෙස හෝ එම වැඩසටහනට සහභාගී වීම ග්‍රාම නිලධාරීන් විසින් ර්වජනය කරමින් එම වැඩසටහනේ කිසිදු කාර්යයකට සම්බන්ධ නොවීම.
vi. රජය මඟින් ක්‍රියාත්මක කරන CLEAN SRI LANKA වැඩසටහන, ප්‍රජා ශක්ති වැඩසටහන් වල කිසිදු කාර්යයකට සම්බන්ධ නොවීම.
vii. සියලූම ග්‍රාමීය කමිටු/ ජංගම සේවා/ ඩෙංගු වැඩසටහන්/ ඉඩම් වැඩසටහන් ඇතුළු සියලූම වැඩසටහන් වලින් ඉවත්ව ර්වජනය කිරීම.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ අද දින දිවයිනේ කිසිදු ස්ථානයක ග්‍රාම නිලධාරීන් රාජකාරි සඳහා වාර්තා නොකරන බවයි.
“අද දිනෙත් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සංගම් විසින් ක්‍රියාත්මක කර තිබෙන අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ලංකාවේ කිසිම තැනක ග්‍රාම නිලධාරීන් රාජකාරියට වාර්තා කරන්නේ නැහැ. ඔවුන් අසනීප නිවාඩු දමලා සේවයෙන් ඉවත් වෙලා ඉන්නේ. ඒ නිසා අද දවස තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයකදී ග්‍රාම නිලධාරීන් හමු වීමට නොහැකි වෙනවා.”
සේවා ලාභී ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් පිළිබඳව කනගාටුව පළ කරන බව පැවසූ සභාපතිවරයා, සේවාවන් ලබාගැනීම සඳහා අද සහ හෙට දෙදින තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ග්‍රාම නිලධාරී කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ජනතාව පත්ව ඇති මෙම අපහසුතාවයට වත්මන් රජය සෘජුවම වගකිව යුතු බවද ඔහු අවධාරණය කළේය.
පැහැදිලිව අපි කියනවා මේකට වගකියන්න ඕනේ රජය. ඒ අපහසුතාවයට රජය වගකියන්න ඕනේ. ග්‍රාම නිලධාරීන් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෙලා ඉන්නේ ඔවුන්ට ලබා දෙන රුපියල් 600යේ ගමන් වියදම් දීමනාව වැඩි කරන්න කියලා. ග්‍රාම නිලධාරීවරයාට අවුරුදු අටක් තිස්සේ ලබා දෙන්නේ රුපියල් 600ක ගමන් වියදම් දීමනාවක් විතරයි. 2024 වර්ෂයේදී එම ගමන් වියදම් දීමනාව ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලෙස පරිවර්තනය කරලා, කැබිනට් අනුමැතිය ලැබුණා ග්‍රාම නිලධාරීන්ට ගෙවන්න කියලා. දැන් අවුරුදු දෙකක් තිස්සේ එම දීමනාවත් ග්‍රාම නිලධාරීන්ට ගෙවන්නේ නැහැ.
අන්න ඒ ඉන්ධන දීමනාව, ගමන් වියදම් දීමනාව වැඩි නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේදී, හෙට දවසේදීත් ග්‍රාම නිලධාරීන් සේවයට වාර්තා නොකිරීමෙන්, අසනීප නිවාඩු වාර්තා කිරීමෙන් කටයුතු කිරීමේ නිරත වන්නේ කියන කාරණාව නිසා කියන එක මේ මොහොතේදී පැහැදිලිව ප්‍රකාශ කරනවා.
අදාළ ඉල්ලීම් සඳහා සාධනීය සහනයක් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව හා දැඩි ලෙස තීව්‍ර කිරීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ජනතාව වෙත ඉටු කරනු ලබන දෛනික පරිපාලන, සහතික පත්‍ර නිකුත් කිරීම් ඇතුළු සහන සේවා කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී ඇති බව වාර්තා වේ.
