“කොන්ද කෙලින් තියාගෙන ආවේ”! හැප්පිලා බලමු – සාගර කාරියවසම්

තමන්ව පොලීසියට කැඳවා ඇත්තේ කුමන හේතුවකට දැයි නිල වශයෙන් දැනුම් දී නොමැති වුවද, ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ පළමු දැනුම් දීමෙන්ම අනුන්ගේ මඩ චෝදනා නැතිව කොන්ද කෙලින් තබා පොලීසිය හමුවේ පෙනී සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමකට අනුව පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක කන්ටේනර්, ගල්අඟුරු හෝ මහා භාණ්ඩාගාරයේ මුදල් හොරකම් කර නොමැති බැවින් කිසිවෙකුට බිය විය යුතු නැති බවයි.

ජනතාවගේ, බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් මෙන්ම පොලීසියේ ස්වාධීනත්වය වෙනුවෙන් හඬ නැගීම නිසා ආණ්ඩුව විපක්ෂයේ කටවල් වැසීමට උත්සාහ කරන බවත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් පුද්ගලිකව කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළේ, රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් සාගර කාරියවසම් මහතාව අත්අඩංගුවට ගැනීමට කිසිදු පදනමක් නැති බවයි.

සාගර කාරියවසම් මහතා පොලිස්පතිවරයාට තර්ජනය කළ බවට මාධ්‍යවල පළ වන පුවත් සම්පූර්ණ අසත්‍ය බවත් සත්‍යය වෙනුවෙන් ඍජුව සහ අභීතව කරුණු දක්වන විපක්ෂයේ අතළොස්සකගේ කටවැසීමට ආණ්ඩුව දරන නිර්ලජ්ජිත උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි කැඳවීම් සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading