අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැති විත්තිකරු සුදුසු ආරක්ෂාව සහිතව සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම සැකකරුවන්ට එරෙහිව පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා අධිකරණ නියෝග ප්‍රකාරව මේ වන විට ඉවත් කර ඇති බැවින්, දැනට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රැඳවුම් භාරයේ පසුවන මෙම විත්තිකරු සුදුසු ස්ථානයකට මාරු කිරීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට උත්සාහ කිරීමේ සිද්ධියට අදාළව හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවටත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කළ හැකි බවටත් පසුගිය ජූලි තිස්වැනිදා අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණි.
එදින ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නීතිපතිවරයා මහාධිකරණයට දැනුම් දී ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් මෙම කරුණු ඉදීරිපත් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කළ නොහැකි බවට නියෝගය නිකුත් කර තවමත් ගතව ඇත්තේ වැඩකරන දින 2ක් පමණක් බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා, අදාළ නියෝගයට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට දින 14ක කාලයක් හිමිවන බව පැවසීය.
එබැවින් අභියාචනය ඉදිරිපත් කිරීමට ඇති එම කාලසීමාව තුළ විත්තිකරුවන්ට ඇප ලබාදීම සුදුසු නොවන බවත් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කිරීම සහ නඩුව නැවත කැඳවීම අගෝස්තු විසිවැනිදා සිදුකරන බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
