“නැත්ත වෙනුවට ඇත්ත”: ටිල්වින්ට වන්දි ගෙවන්නැයි විමල්ට දුන් තීන්දුව තහවුරුයි

“නැත්ත වෙනුවට ඇත්ත” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ට පනවා තිබූ රුපියල් මිලියනයක වන්දි නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී තිබූ මෙම තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය නිෂ්ප්‍රභ කිරීමට අද (09) පියවර ගත්තේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් තම නමින් ප්‍රකාශයට පත් කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” නමැති ග්‍රන්ථය හරහා බුද්ධිමය දේපළ පනත යටතේ පවතින තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් මෙම නඩුව පවරා තිබුණි.

එහිදී ටිල්වින් සිල්වා අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ, විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටි සමයේ ටිල්වින් සිල්වා විසින් පක්ෂ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද දේශපාලනික අදහස්, යෝජනා සහ ලේඛන නීතිවිරෝධී ලෙස උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා මීට පෙර සඳහන් කර තිබුණේ, බුද්ධිමය දේපළ පනතට අනුව “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ අන්තර්ගතයේ සැබෑ අයිතිය හිමි විය යුත්තේ විමල් වීරවංශට නොව ටිල්වින් සිල්වාට බවයි. ඒ අනුව, ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝණය කිරීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස වාණිජ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට නියෝග කරනු ලැබීය.

එම නියෝගයට එරෙහිව විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණ ද, කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading