විකුණා හෝටලයක් කරන්න හිටපු බෝගම්බර යළිත් බන්ධනාගාරයක් වෙයි!

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට සහ මෑතකදී මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ඛේදනීය ගැටුම්කාරී තත්ත්වයට කඩිනම් විසඳුමක් ලෙස හෝටලයක් බවට පත් කිරීමට නියමිත වූ ඓතිහාසික පැරණි බෝගම්බර බන්ධනාගාරය නැවත බන්ධනාගාරයක් ලෙස ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව, 2026 ජූලි මස 08 වැනි බදාදා දිනැති අංක 2496/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ. (54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තියෙන් කාර්යයන් සඳහා විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති අතර, එය සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන පරිදි සීමාවන් නියම කරමින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර පෙරේදා (07) දිනයේ දී ද ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව 2026 ජූලි මස 07 වැනි අඟහරුවාදා දිනැති අංක 2496/10 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. මෙම බන්ධනාගාරය ද බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන පරිදි ස්ථාපිත කර තිබේ.

මහනුවර පිහිටි මෙම ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක කාලයක් පුරා ක්‍රියාත්මකව පැවති අතර, පසුව එහි සිටි රැඳවියන් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව 2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණි. පසුව බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සදහා පමණක් විවෘත කර තිබිණි. මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූ බන්ධනාගාර දෙක අතුරින් එකක් වන්නේද බෝගම්බර බන්ධනාගාරයයි. අක්කර 13 ක් පුරා විහිදුණු බෝගම්බර බන්ධනාගාරය එංගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහ රැජිණගේ ඔටුන්න ආකෘතියට ප්‍රංශයේ පැරිස් බැස්ටිල් කොටුවට සමානව ඉදි කරන ලද්දකි.

කෙසේ වෙතත්, මෙම පරිශ්‍රය සම්බන්ධයෙන් මීට පෙර රජයන් යටතේ විවිධ වාණිජ සහ සංචාරක සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ 2024 වසරේදී එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබුණේ බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු ද ඉදිරිපත් වී ඇති බවයි. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපිං මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස එහි පෞරාණිකත්වය හා යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය සුරකිමින් සංවර්ධනය කිරීමට එවකට සැලසුම් කර තිබුණි.

ඉන් අනතුරුව, වත්මන් අනුර කුමාර දිසානායක රජය යටතේ ද මෙම පරිශ්‍රය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට තීරණය කර තිබුණි. ඒ අනුව 2025 ජුනි 03 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී, මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50ක බදු පදනම මත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බැහැර කිරීමට අනුමැතිය හිමි විය. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අනුව, ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ මෙම පරිශ්‍රයේ සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමට අදාළව ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

එවැනි වාණිජ සහ සංචාරක ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීනව සැලසුම් කර තිබූ ඓතිහාසික බෝගම්බර පරිශ්‍රය, මෙලෙස හදිසියේම යළිත් බන්ධනාගාරයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරමින් කඩිනම් පියවර ගැනීමට රජයට සිදුව ඇත්තේ, මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ලේ වැකි ගැටුම් මගින් මතුව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය සහ දිවයින පුරා බන්ධනාගාර පද්ධතියේ පවතින උග්‍ර තදබදය පාලනය කිරීමේ අත්‍යවශ්‍යතාව නිසාවෙනි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading