පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද වාර්තාවල සඳහන් සිද්ධි කිහිපයක් පිළිබඳව නිසි පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ජුලි 08 දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර ඒ සභානායක ඇමති බිමල් රත්නායක විසිනි.
ඒ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හඳුනාගත් කිලෝ ග්‍රෑම් 510ක් බර Rough Sapphire Cluster මැණික් පාෂාණය, හෙරණියාවක මැණික් ඉල්ලම ඉවත් කර ගැනීම සඳහා වන ව්‍යාපෘතිය හා එම අධිකාරියට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීම යන කරුණු යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩලය සම්බන්ධයෙන් විදුලි පද්ධතියේ ආරක්ෂාවට ගෙන්වූ උපකරණ ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කිරීම, දීමනා ගෙවීම්වල අක්‍රමිකතා සහ බඳවා ගැනීම් පටිපාටිය හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව තනතුරු සඳහා බඳවා ගැනීම යොමු කිරීමට නියමිතය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් එම කොමිෂන් සභා අරමුදලෙන් කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් වියදම් කිරීම, මාතලේ බේගෲප් වත්තෙන් එස් ආර් රෙන්ගනාදන් මහතාට ඉඩම් ලබාදීම, කටාන ඉඹුල්ගස්වාඩියෙන් මාලනී නානායක්කාර මහත්මියට ඉඩම් ලබාදීම හා එම කොමිෂන් සභාවේ සේවකයන්ට ඉඩම් ලබාදීම යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් එහි නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම, එහි කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා, 2021 වර්ෂය තුළ තාක්ෂණ පීඨය සඳහා පුස්තකාල පොත් මිලදී ගැනීම, විශ්වවිද්‍යාල භූමියෙන් අනවසරයෙන් පස් කැපීම හා උපකුලපතිවරයාට අයිතිව තිබූ නිවසක් බදු පදනම මත ශිෂ්‍ය නේවාසිකාගාරයක් සඳහා ලබාදීම යොමු කිරීමට නියමිතය.
ලංකා සතොස ලිමිටඩ් සම්බන්ධයෙන් සේවක දිරි දීමනා ගෙවීම්, කිලිනොච්චිය නගරයේ පිහිටි සමාගම සතු වර්ග අඩි 15,000ක ගොඩනැගිල්ල බදු පදනමට ලබාදීම, කාර්ය සාධන දීමනා හා වෘත්තීය දීමනා සහ ප්‍රවාහන දීමනා යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධයෙන් නේවාසික පුහුණුවක් ලබාදීමකින් තොරව ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නිසා කාර්යාංශයට අලාභයක් සිදුවීම, විදේශ දූත මණ්ඩල සඳහා නිලධාරින් පත් කිරීම, ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන, එම වැඩසටහන සම්බන්ධයෙන් වෙළෙඳ කුටි ලබා ගැනීම හා විගමණික හරසර වැඩසටහන පැවැත්වීම, යොමු කිරීමට නියමිතය.
ජාතික ඉතිරි කිරිමේ බැංකුව සම්බන්ධයෙන් බිම්පුත් ෆිනෑන්ස් සමාගමට ණය ලබාදීම, පුද්ගලයන් දෙදෙනෙකු වෙත 2020 දෙසැම්බර් 23 දින ලබාදී ඇති රුපියල් මිලියන 164.73 ක් වූ බද්ධ දේපළ ණය, ණය තොරතුරු කාර්යාංශ වාර්තාවේ සඳහන් ණය පහසුකම් 10ක අක්‍රමවත් ආපසු ගෙවීම් ෂලකා බැලීමකින් තොරව ණය ගැණුම්කරුවෙකුට රුපියල් මිලියන 12.6ක ණයක් ලබාදීම හා RPI Private Limited නැමැති මාලදිවයින් සමාගමක් වෙත ලබාදී ඇති එක්සත් ජනපද ඩොලර් මිලියන 9ක් වටිනා සම්මේලනික ණය ලබාදීම යොමු කිරීමට නියමිතය
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සම්බන්ධයෙන් වීරවිල සංචාරක බංගලාව ප්‍රතිසංස්කරණය කිරීම යොමු කිරීමට නියමිතය.
