රනිල්ගේ නඩුවේ විමර්ශන ඉවරයි! නීතිපතිට තවම මතයක් නැහැලු!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අද (08) අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විමර්ශන වාර්තා මේ වන විටත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව නීතිඥවරිය ප්‍රකාශ කළා.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන මෙම නඩුව අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි නලින්ද හේරත් මහතා විසින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ගොනු කරනු ලැබුවා.

අද දින නඩු විභාගය සඳහා පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා පෙනී සිටියේ නැහැ.

නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා  කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධියේදී අවභාවිත වූවා යැයි කියන මුදල්වලින් වැඩිම කොටසක් වැය වී ඇත්තේ වාහන ලබාදීමේ කටයුතු වෙනුවෙන් බවයි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ වෙත මෙම වාහන සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් බවත් එම වාහන සැපයීමේදී ඔවුන් අනුගමනය කරනු ලබන නිල ක්‍රමවේදයන් ඇතුළත් විශේෂ වාර්තාවක්ද අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළා.

බ්‍රිතාන්‍ය රජයේ නිල ලේඛන මඟින් මේ බව තහවුරු වන බැවින් ඉදිරි විමර්ශන කටයුතු සඳහාද මෙම වාර්තාව උපයෝගී කරගත හැකි බව නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ නීතිමය පියවර පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය එදිනට දැනුම් දෙන ලෙස නියෝග කරමින් මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading