ණය වාරිකයක් පියවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් මහා භාණ්ඩාගාරය විසින් වංචනික ලෙස බැහැර කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ විමර්ශනවල වත්මන් ප්‍රගතිය ලබන අගෝස්තු මස 05 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළව සොයාගන්නා ලද ටෙරා බයිට් 16ක පරිගණක දත්ත ඇතුළත් දෘඪතැටි වැඩිදුර විද්‍යාත්මක විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවයි.
කෙසේවෙතත් එම දත්ත විශ්ලේෂණ වාර්තා මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙතින් කැඳවා ඇති රස පරීක්ෂක වාර්තාද මේ දක්වා ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වාර්තා කැඳවමින් විමර්ශන කටයුතු සිදු කරන ලෙසත් එහි ප්‍රගතිය ලබන අගෝස්තු මස 05 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.
විදේශීය ණයක් ආපසු ගෙවීමේ ක්‍රියාවලියක් සඳහා මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති රජයේ ගිණුමකින් ඩොලර් මිලියන 2.5 ක මුදලක් බාහිර පෞද්ගලික සමාගමක ගිණුමකට වංචනික ලෙස බැර කර ඇති බවට මහා බැංකු බලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
විමර්ශනවලදී හෙළි වී තිබුණේ මෙම මුදල් වංචාව සංවිධානාත්මක ජාත්‍යන්තර සයිබර් අපරාධ කණ්ඩායමක් සහ මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදු කර ඇති බවයි.
මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මෙම මූල්‍ය දත්ත වෙනස් කර ඇති බව මූලිකව අනාවරණය වුණා.
මහා භාණ්ඩාගාරයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පද්ධති පරිපාලකවරයෙකු සහ වංචනික ලෙස මුදල් බැර කරගත් දේශීය පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
