එකම කාලසීමාවක් තුළ රජයේ ආයතන දෙකකින් නීතිවිරෝධී ලෙස වැටුප් හා දීමනා ලබාගැනීමේ සිදුවීමකට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු මෙන්ම නව ජනතා පෙරමුණේ නායකයා ද වන සුගීෂ්වර බණ්ඩාරව ලබන ජූලි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (18) නියෝග කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරු අද කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ, සැකකරු ඉකුත් 2022 වර්ෂයේදී කිසිදු නීත්‍යානුකූල අනුමැතියකින් තොරව රාජ්‍ය තනතුරු දෙකක් දරමින් මූල්‍ය ප්‍රතිලාභ ලබාගෙන ඇති බවයි.
එහිදී ඔහු එකම කාල වකවානුවක් තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කර තිබේ.
විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ සැකකරු මෙම තනතුරු ද්විත්වයෙහිම නිරත වෙමින්, ජනාධිපති වැය ශීර්ෂය යටතේ නීතිවිරෝධී ලෙස එකවර වැටුප් හා දීමනා ලබාගනිමින් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුකර ඇති බවයි.
මෙම මූල්‍ය වංචාවට අමතරව, සැකකරු ඉහත සඳහන් කළ තනතුරු දරන සමයේදී රජයේ වාහන අවභාවිත කිරීමක් සහ එම ආයතනවල සේවකයින් තමන්ගේ පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා නීතිවිරෝධී ලෙස යොදවා ගැනීමට කටයුතු කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා තිබේ.
සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
