කපිල චන්ද්‍රසේනගේ මරණය: ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුළු දෙදෙනෙකුට සිතාසි!

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් යන මහත්වරුන්ට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) සිතාසි නිකුත් කර තිබේ.

මෙම සිද්ධිය අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් අබේවර්ධන මහතා පෙනී සිටියේය. එහිදී, මෙම මරණ පරීක්ෂණයේ 19 සහ 20 වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අදාළ නීතිඥවරුන් දෙදෙනාගෙන් සාක්ෂි විමසීම අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, පිටු නවයකින් යුත් සිය නියෝගය අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් මෙම සිතාසි නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් කියවන ලද පිටු නවයකින් යුත් එම නියෝගයේ සඳහන් වූයේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 370/5 වගන්තිය ප්‍රකාරව, කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා 19 සහ 20 යන සාක්ෂිකරුවන් වන මෙම නීතිඥ දෙපළගෙන් සාක්ෂි ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි.

එමෙන්ම රජයේ නීතිඥවරයෙකුට, අධිනීතිඥවරයෙකුට හෝ නොතාරිස්වරයෙකුට තමන් වෙතින් සේවය ලබා ගන්නා සේවාදායකයා විසින් කරනු ලබන වාචික හෝ ලිඛිත ප්‍රකාශයන්හි රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ඇති බැඳීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එවැනි වෘත්තීයමය රහස්‍යභාවයක් ආරක්ෂා කළ යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ රීති පනතේ ද පැහැදිලිව දක්වා ඇති බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මඟින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, පවතින තත්ත්වයන් සලකා බලා මෙම සාක්ෂි විමසීම සිදු කිරීමට තීරණය කළ කොටුව මහේස්ත්‍රාත්වරයා, අදාළ නීතිඥවරුන් දෙදෙනාට ලබන ජූනි මස 5 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading