වාහන ආනයනය සඳහා අය කරන රේගු බද්ද මත අධිභාරය පැනවීමට පෙර වාහන ආනයනය වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පනත යටතේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තොරතුරු ඉල්ලා ඇත.
ඒ අනුව මැයි මස පළමු දින 20 ක කාලය තුළ එක් එක් දිනට අදාළව ශ්‍රී ලංකාවට වාහන ආනයනයට අදාළ ණයවර ලිපි විවෘත කළේ කවුද, ණයවර ලිපි කොපමණ ප්‍රමාණයක් විවෘත කර ඇත්ද, එම ණයවර ලිපිවල වටිනාකම කොපමණද, ඒ යටතේ ආනයනය කිරීමට නියමිත වාහන සංඛ්‍යාව කෙපමණද හා එම වාහන වෙනුවෙන් වැයවන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳ තොරතුරු විමසා ඇත.
ඉල්ලා ඇති එම තොරතුරුවලට අදාළ ලේඛන හෝ ඒවායේ සහතික කළ පිටපත් ලබාදෙන ලෙස ඒ යටතේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරන්නේ අධිභාරයට පෙර වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
