කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි ! තද වැසි හා තද සුළං අපේක්ෂා කරනවා !! – කාලගුණය ගැන නවතම තොරතුරු මෙන්න.

දිවයින හරහා මේ වන විට නිරිතදිග මෝසම ස්ථාපිත වෙමින් පවතින හෙයින් දිවයින හරහා බස්නාහිර සහ නිරිතදෙසින් ඉතා ඉහළ ජලවාෂ්ප ප්‍රමාණයක් රැගත් ප්‍රබල සුළං ප්‍රවාහයක් ගලා එමෙන් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසනවා.

ඊයේ (21) රාත්‍රියේ සිට මේ දක්වා දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය සඳහා හේතුව එය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගෙවුණු කාලය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට දැඩි වර්ෂාවක් පතිත වී ඇති අතර, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 300 ඉක්මවූ වැසි වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ නමුත්, අද දිනය පුරා ද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා වැසි අපේක්ෂා කරන බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ සහ දකුණු පළාතේත් පැයට කිලෝමීටර් 40ක් දක්වා වන තද සුළං අපේක්ෂා කළ හැකි බවත්, මෝසම් සුළඟ විටින් විට සක්‍රීය වීම හේතුවෙන් ඉදිරියේදී ද තද වැසි සමඟ දිවයින හරහා වරින් වර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇතිවීම හේතුවෙන් ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බව ද නිවේදනය කර තිබෙනවා.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවා ඇත්තේ, කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ඒ අනුව සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තාම්න්තුව ඉල්ලා සිටිනු ලබන්නේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading