දශක ගණනාවකට පෙර අත්හැර දමා තිබූ කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා යළි දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කරමින්, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමේ උපදේශන සේවාව පිරිනැමීමට ඊයේ (21) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2025 ඔක්තෝබර් 21 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණයක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සිදු කරනු ලැබූ අතර, ඒ සඳහා ලංසුකරුවන් අට දෙනෙකු සිය අභිලාෂයන් ඉදිරිපත් කර තිබුණි. එම අයදුම්කරුවන් අතරින් කෙටි ලැයිස්තු ගත කරන ලද ආයතනවල තාක්ෂණික යෝජනා ඇගයීමෙන් පසුව, සුදුසුකම් ලැබූ ආයතන හතරක මූල්‍ය යෝජනා විවෘත කිරීමට කටයුතු කෙරිණි.
එම මූල්‍ය යෝජනා සලකා බැලූ උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින්, රුපියල් මිලියන 356.22ක (බදු රහිත) මුළු මුදලකට, අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමේ උපදේශන සේවාව M/s. Resources Development Consultants (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීමට නිර්දේශ කර ඇත.
උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම මගින් සබරගමුව පළාතේ ප්‍රවාහන පද්ධතියේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම මාර්ග තදබදය අවම කිරීම, භාණ්ඩ ප්‍රවාහනය පහසු කිරීම සහ කලාපීය ආර්ථික සංවර්ධනයට මෙය සෘජුවම දායක වනු ඇත.
මෙම ශක්‍යතා අධ්‍යයනයෙන් අනතුරුව, මාර්ගය ඉදිකිරීම් කටයුතු සඳහා වන මූලික සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීමට නියමිතය.
