පෘථිවියෙන් පිට තියෙන එකම මනුෂ්‍ය ටොයිලට් එකේ අලුත්ම ප්‍රශ්නය!

සමාවෙන්න, අපිට ආපහු සැරයක් ආර්ටෙමස් 2 යානයේ තියෙන ‘අභ්‍යවකාශ වැසිකිළිය’ ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා.

අප්‍රේල් 01 වැනිදා මේ මෙහෙයුම දියත් කළාට පස්සේ මේ වැසිකිළිය ගැන ලොකු අවධානයක් යොමු වුණා. මොකද අමෙරිකාව සද ගමනකට වැසිකිළියක් පාවිච්චි කරන පළවැනි අවස්ථාව මේක. ඔබ දන්නවානේ! ඇපලෝ ගගනගාමීන් තමන්ගේ වැඩ කටයුතු කරගත්තේ අතින් අල්ලන බෑග් පාවිච්චි කරලයි. ඒක ලේසි සෙල්ලමක් නෙවෙයි.

සාමාන්‍යයෙන් රුසියාව තමයි අභ්‍යවකාශ වැසිකිළිවල පුරෝගාමියා. රුසියාවේ මෙහෙයුම්වලදී කුඩා වැසිකිළියක් ඔවුන් පාවිච්චි කළා. ඒ වැසිකිළියම තමයි වැඩිදියුණු කරලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යොදා ගත්තේ. චීනයත් වැසිකිලි නිෂ්පාදනය කළා. මීට අමතරව දැනට ඊලෝන් මස්ක්ගේ කෘ ඩ්‍රැගන් යානාවලත් වැසිකිළි තියෙනවා. ඉතින් එවැනි පසුබිමක ඔරයන් යානයේ වැසිකිළිය ඉතා වැදගත්. අභ්‍යවකාශ වැසිකිළි තාක්ෂණය අවුලක් නොවෙන විදියට වැඩිදියුණු කරගැනිම අනාගතයට හරිම වැදගත්.

හැබැයි මේ වැසිකිළිය දැන් පොඩි කරදරයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ, එහි එකතු වෙන මුත්‍රා අභ්‍යවකාශයට මුදා හරින්න ගගනගාමීන්ට පොඩි අපහසුවක් ඇති වෙලා.

ඒ විතරක් නෙවෙයි, එතනින් අමුතු පිළිස්සෙන ගඳක් එනවා කියලත් යානයේ ඉන්න ගගනගාමීන් වාර්තා කළා. ඒ ගඳට හේතුව මොකක්ද කියලා තාම හොයාගෙන නැති වුණත්, පාලන මධ්‍යස්ථානය නම් ඒ ගැන ඒ තරම් බය වෙලා නැහැ.

සඳ වටා ගිය ඓතිහාසික ගමනට පස්සේ, ඒ කියන්නේ අප්‍රේල් 07 වැනි අඟහරුවාදා, නාසා නිලධාරීන් මේ වැසිකිළිය ගැන අලුත් තොරතුරු ටිකක් හෙළි කළා. මේක ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන වැසිකිළියට වඩා ටිකක් කුඩා එකක්. මෙහෙයුම් අධ්‍යක්ෂ රික් හෙන්ෆ්ලින් කිව්වේ වැසිකිළිය තවමත් වැඩ කරනවා කියලයි. “හැබැයි දැන් තියෙන අභියෝගය තමයි ටැංකිය හිස් කරන එක. අපි බලාපොරොත්තු වුණ විදියට ඒ අපද්‍රව්‍ය පිටතට යන්නේ නැහැ. ඒ නිසා අපිට වැසිකිළිය පාවිච්චි කරන එක වෙනුවට වෙනත් විකල්ප ක්‍රමවලට යන්න සිද්ධ වෙලා තියෙනවා,” කියලා ඔහු පැහැදිලි කළා.

මුලින් විද්‍යාඥයන් හිතුවේ යානයෙන් පිටත තියෙන විවරයේ අයිස් හිරවෙලා ඇති කියලා. ඒ නිසා ඔවුන් හීටර් දාලා, යානය ඉර දෙසට හරවලා ඒ අයිස් දිය කරන්න හැදුවා. හැබැයි ඒකෙන් ප්‍රශ්නය විසඳුණේ නැහැ. දැන් තියෙන අලුත්ම මතය තමයි, මේ අපද්‍රව්‍යවල බැක්ටීරියා (biofilms) ඇති වෙන එක නතර කරන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය නිසා යම්කිසි රසායනික ක්‍රියාවලියක් වෙලා, ඒකෙන් ඇති වුණ කුණු රොඩු ෆිල්ටර් එකේ හිරවෙලා ඇති කියලා.

කොහොම වුණත් ඇත්තටම මොකද වුණේ කියලා ෂුවර් එකටම දැනගන්න ලැබෙන්නේ යානය ආපහු පෘථිවියට ආවට පස්සේ. රීඩ් වයිස්මන් ඇතුළු ගගනගාමීන් සිව්දෙනා ලබන සිකුරාදා (අප්‍රේල් 10) හවස පැසිෆික් සාගරයට පතිත වෙන්න නියමිතයි. එතකොට නාසා එකට පුළුවන් යානය ඇතුළට ගිහින් ප්‍රශ්නයේ මුල හොයාගන්න.

එයින් මේ ඓතිහාසික මෙහෙයුම ඉවර වේවි. මනුෂ්‍ය වර්ගයාට වගේම ටොයිලට් එකේ කතාවේත් සුවිශේෂී පරිච්ඡේදයක් ඉවර වේවි.

1972 ඇපලෝ 17 මෙහෙයුමට පස්සේ මිනිස්සු පෘථිවි කක්ෂයෙන් එහාට ගිය පළමු ගමන මේකයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading