තෙල් මිලේ කොමිස් නෙවෙයි ණය තියෙන්නේ! අනුරගේ කතාව වෙනස් වූ හැටි තේරුම් ගනිමු!

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර කියූ දේවල් අතර ප්‍රධානම කරුණක්ව තිබුණේ ලංකාවේ තෙල් මිලේ සැලකිය යුතු ප්‍රමාණයක් පවතින්නේ කොමිස් බවය. ඒ කොමිස් ඉවත් කළ පසු තෙල් මිල අඩු කරනු ඇතැයි බලාපොරොත්තුවක්ද ඡන්දදායකයන්ට තිබුණි.

පසුගිය 17 වැනිදා රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ ආර්ථික තත්ත්වය සහ විශේෂයෙන්ම ඉන්ධන මිල තීරණය වන ආකාරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

ඒ පැහැදිලි කිරීම අනුව ඔහු කීවේ ඛනිජතෙල් සංස්ථාව සතුව දැවැන්ත ණය කන්දරාවක් තිබෙන බවයි. මීට පෙර ‘රාජ්‍ය පාලනය කළ කණ්ඩායම්‘ නිසා ඇති වූ තත්වයක් බවත් කීය. එනම් වංචාව, දූෂණය, නාස්තිය මත ඇති වූ ණය කන්දක් ගැන කීය.

ජනාධිපතිවරයා මතු කළ ප්‍රධානතම කරුණ වූයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතු වූ දැවැන්ත ණය කන්දරාව රජයේ භාණ්ඩාගාරය වෙත පැවරීම නිසා ජනතාවට ඉන්ධන බදු ගෙවීමට සිදුව ඇති බවයි.

රූපවාහිනී නාළිකාවල මාධ්‍යවේදීන්ට පමණක් ඉඩ ලැබී තිබුණු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය:

“ඇත්තටම තෙල් සඳහා තියෙන්නේ බද්දක් තමයි. හැබැයි බද්දේ අපේක්ෂාව, තෙල් සංස්ථාවේ ණය තිබුණා බිලියන 884ක්. කෝටි අනූදහසක් කියලා හිතමු. රාජ්‍ය පාලනය කරපු කණ්ඩායම් නිසා තෙල් සංස්ථාවේ ණය කෝටි අනූදහසයි. ඒ අනූදහසම භාණ්ඩාගාරය භාරගත්තා. දැන් තෙල් සංස්ථාව සතයක් ණය නෑ. භාණ්ඩාගාරය භාරගත්තු කෝටි අනූදහසට වාර්ෂික පොලිය කීයක්ද කියලා හිතන්න. පොළිය විතරක් කෝටි දසදහසක් විතර.

භාණ්ඩාගාරය ණය පියවා ගැනීම සඳහා තෙල්වලට බද්දක් පැනෙව්වා. කෝටි අනූදහසක ණය බරක් අරන් තියෙනවා. සාමාන්‍ය පොලියත් කෝටි දහසක් විතර. ඒක භාණ්ඩාගාරයට අතිරේක බරක්. ඒක කොච්චර කාලයක් යාවිද දන්නේ නැහැ. ඒක හේතු කොටගෙන තෙල් මිල ඉහළ යෑමක් තියෙනවා. අපි තෙල් මිල ඉහළ යෑමක් කළා. ඒකට හේතු දෙකක් තිබුණා. එකක් පරිහරණය අඩු කර ගැනීමට ඕනෑ වුණා. ඒ වගේම තෙල් මිල එකපාරම ඉහළ යෑම නිසා ඇති වෙන කම්පනය සමනය කරගන්න ඕනෑ වුණා.”

ජනාධිපතිවරයා තවදුරටත් පැහැදිලි කළේ මාර්තු මාසයේ මිල සංශෝධනය හරහා සංස්ථාව ලාභයක් ලැබූ බවත්, එම ලාභය ඉදිරි මිල සූත්‍රය ගණනය කිරීමේදී ජනතාවට සහනයක් ලෙස ලබා දීමට බලාපොරොත්තු වන බවත්ය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රුපියල් බිලියන 884ක ණය ප්‍රමාණය දත්තමය වශයෙන් නිවැරදිය. එහෙත් ඒ ණය භාණ්ඩාගාරයට එකතු කර ගත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වීමට පෙරය.

දශක ගණනාවක් තිස්සේ ඉන්ධන පිරිවැයට වඩා අඩු මිලට විකිණීම සහ කළමනාකරණ දුර්වලතා නිසා මෙම ණය එකතු විය. 2023 වසරේදී මෙම ණය භාණ්ඩාගාරයට පැවරීම හරහා සංස්ථාව “ණය බරින් තොර” ආයතනයක් බවට පත් වුවද, එම බර දැන් පැටවී ඇත්තේ සමස්ත බදු ගෙවන ජනතාව මතය. ඉන්ධන මත පනවා ඇති 18% ක වැට් (VAT) බද්ද සහ අනෙකුත් රේගු බදු හරහා රජය උත්සාහ කරන්නේ මෙම ණය සහ පොලිය පියවා ගැනීමටයි.

එහෙත්, අප මුලින්ම සදහන් කළ ඉන්ධන ලීටරයක මිලට එකතු වූ දැවැන්ත කොමිස් ප්‍රමාණයේ කතාව 2023 දී උක්ත ක්‍රියාමාර්ගය ගත්තාට පසුත් කීය. එදා කිවේ තෙල් මිලේ වැඩි හරියක් තිබෙන්නේ හොරකම සහ කොමිස් බවයි. පොරොන්දුව වී තිබුණේ තෙල් මිල අඩු කිරීමයි.

ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු සහ භාණ්ඩ මිල ඉහළ යන බැවින්, මෙය ජනතාවට දෙපැත්තකින් පහර වදින ක්‍රියාවලියකි.

ජනාධිපතිවරයා පවසන පරිදි සාමාන්‍ය ත්‍රීවිල් එකක් හෝ මෝටර් සයිකලයක් පදින කෙනෙකු පවා පෙර රජයන් පැවති කාලයේදී වංචාව, දූෂණය සහ නාස්තිය නිසා නිර්මාණය කළ ණය කන්ද ගෙවිය යුතුද? අපි තෙල් ගහන හැම වතාවකම මීට පෙර වංචාවලට වගකිව යුතුද?

“බදු පැනවීම හැර වෙනත් විකල්පයක් නැද්ද?” යන ප්‍රශ්නයට විකල්ප යෝජනා රැසකි.

1. වක්‍ර බදු වෙනුවට සෘජු බදුකරණය: ඉන්ධන මත බදු පැනවීම “වක්‍ර බද්දකි”. එයින් දුප්පත් පොහොසත් සැමට එක ලෙස පහර වදියි. මෙයට විකල්පයක් ලෙස රටේ ඉහළම ධනයක් හිමි 1% ක පිරිස මත “ධන බද්දක්” (Wealth Tax) පැනවීම හරහා ඉන්ධන ණය පියවීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගත හැකි බව වාමාංශික යෝජනාවයි.

2. දූෂණය සහ නාස්තිය පිළිබඳ වෝහාරික විගණනය: CPC ණය වීමට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලන හිතවතුන්ට ඉන්ධන ගනුදෙනු හරහා ලබා දුන් කොමිස් මුදල් සහ අක්‍රමිකතාය. එම අක්‍රමිකතා පිළිබඳ වෝහාරික විගණනයක් (Forensic Audit) පවත්වා, වංචා කළ මුදල් නැවත අය කර ගැනීම හරහා ජනතාව මත පටවා ඇති බදු බර අඩු කළ හැකිය.

3. බලශක්ති සංක්‍රාන්තිය සඳහා රජයේ මැදිහත්වීම: ඩොලර් වැය කර තෙල් ගෙන්වනවා වෙනුවට, පුනර්ජනනීය බලශක්තිය (සූර්ය හා සුළං) රජයේ සෘජු ආයෝජනයක් ලෙස ප්‍රවර්ධනය කිරීම. මෙහිදී පුද්ගලික අංශයට ලාභ ලැබීමට ඉඩ දෙනවා වෙනුවට රජය සෘජුව මැදිහත් වී බලශක්ති පිරිවැය අඩු කළ යුතු බව ඔවුන්ගේ තර්කයයි.

4. පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම: පුද්ගලික වාහන සඳහා තෙල් පාරිභෝජනය අඩු කිරීමට නම්, ගුණාත්මක දුම්රිය සහ බස් සේවාවක් ස්ථාපිත කළ යුතුය. එවිට ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ස්වාභාවිකවම අඩු වන අතර ජනතාවට ඉන්ධන මිල වැඩිවීම එතරම් තදින් දැනෙන්නේ නැත.

ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි ඛනිජ තෙල් සංස්ථාව සතු වූ ණය බර රටට විශාල ගැටලුවකි. එහෙත් එම ණය පියවීමට ඇති එකම මග පරිභෝජන බදු ඉහළ දැමීම පමණක්ම නොවේ.

ධනවතුන්ගෙන් බදු අය කිරීම, දූෂණය නතර කිරීම සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහනයක් ඇති කිරීම වැනි විකල්ප මාර්ග කෙරෙහි රජයේ අවධානය යොමු වන්නේ නම්, සාමාන්‍ය ජනතාවට මීට වඩා සහනදායී ලෙස මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාව ලැබෙනු ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading