“දිට්වා” (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිදුවූ දරුණු විනාශයෙන් පසුව, රට යළි ගොඩනැගීම සහ පශ්චාත් ආපදා ප්‍රතිසාධන කටයුතු විධිමත්ව මෙහෙයවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. “Rebuilding Sri Lanka” ලෙස නම් කර ඇති මෙම බලකාය ස්ථාපිත කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය (අංක 2469/09) 2025 දෙසැම්බර් මස 31 වන දින නිකුත් කරන ලදී.
මෙම නව කාර්ය සාධක බලකායේ සභාපතිත්වය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමිය වෙත පවරා ඇති අතර, එහි ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කර තිබේ.
බලකාය පිහිටුවීමේ අරමුණ
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලට බලපාන අයුරින් හමා ගිය “දිට්වා” සුළි කුණාටුව මිනිස් ජීවිතවලට මෙන්ම පෞද්ගලික හා පොදු දේපළවලට විශාල හානියක් සිදු කර ඇත. මෙම ව්‍යසනයෙන් පසුව පැන නැගී ඇති පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉහළ මට්ටමේ සම්බන්ධීකරණයක් සහිත ජාතික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව, පැහැදිලි නායකත්වයක් සහ විධිමත් පාලන රාමුවක් යටතේ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම මෙම බලකායේ ප්‍රධාන අරමුණයි.
කාර්ය සාධක බලකායේ සංයුතිය
කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 25 දෙනෙකුගෙන් මෙම බලකාය සමන්විත වේ . එහි ප්‍රධාන සාමාජිකයින් අතර පහත අය ඇතුළත් වේ:
“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස ගරු හරිනි අමරසූරිය, ගරු එච්. එම්. විජිත හේරත්, ගරු ඒ.එච්.එම්.එච්. අබයරත්න , ගරු ලාල් කාන්ත , ගරු උපාලි පන්නිලගේ , ගරු සුනිල් හඳුන්නෙත්ති , ගරු බිමල් රත්නායක , ගරු නලින්ද ජයතිස්ස , ගරු අනිල් ජයන්ත ප්‍රනාන්දු , ගරු පටබැඳිගේ දම්මික , ගරු සුසිල් රණසිංහ , ගරු හනීෆ් යූසුෆ් , ගරු අරුණ ජයසේකර, ආචාර්ය එන්. එස්. කුමානායක , ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, එච්. එස්. එස්. තුයිය කොන්තා, බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති , ආචාර්ය හාන්ස් විජේසූරිය, එච්. එස්.කේ. ජේ. බණ්ඩාර , රෝහණ හෙට්ටිආරච්චි , මර්ලමති ගංගාදරන්, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම , සමන්තා ද සිල්වා , මන්දනා ඉස්මයිල් සහ පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීන් පත් කර ඇති අතර, බලකායේ ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කටයුතු කරයි.
ප්‍රධාන වගකීම් සහ කාර්යභාරය
“Rebuilding Sri Lanka” කාර්ය සාධක බලකාය වෙත පවරා ඇති ප්‍රධාන කාර්යයන් වන්නේ මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් යළි ස්ථාපිත කිරීම, යටිතල පහසුකම් ගොඩනැගීම සහ ජනතාවගේ ජීවනෝපායන් නැංවීමට අවශ්‍ය උපායමාර්ගික තීරණ ගැනීමයි. එසේම දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ඩිජිටල් දත්ත පද්ධති හරහා තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම ද ඊට ඇතුළත් වේ.
විශේෂ උප කමිටු 08ක් පිහිටුවයි
මෙම දැවැන්ත ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරුන්ගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන උප කමිටු 8ක් පිහිටුවීමට බලය ලබා දී ඇත.
- පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයුම් කමිටුව: ආපදාවෙන් සිදුවූ භෞතික, ආර්ථික සහ සමාජීය හානි පිළිබඳ දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම සිදු කරයි.
- පොදු යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව: විදුලිය, ජලය, ප්‍රවාහනය සහ සෞඛ්‍ය වැනි පොදු යටිතල පහසුකම් යළි ගොඩනැගීම අධීක්ෂණය කරයි.
- නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව: හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සහ නව නිවාස ඉදි කිරීම සඳහා තාක්ෂණික සහාය සහ සම්පත් ලබා දීම සිදු කරයි.
- දේශීය ආර්ථිකයන් සහ ජීවනෝපායන් පුනර්ජීවනය කිරීමේ කමිටුව: පීඩාවට පත් ව්‍යාපාර ස්ථාවර කිරීම, සැපයුම් දාම ගොඩනැගීම සහ මූල්‍ය සේවා පහසුකම් පුළුල් කිරීම හරහා ආර්ථිකය සවිබල ගන්වයි.
- සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව: අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සුභසාධන සේවා සම්බන්ධීකරණය මෙන්ම රෝග ව්‍යාප්තිය පාලනයට සහ සහන කඳවුරු පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගනී.
- මූල්‍ය සහ අරමුදල් කමිටුව: “Rebuilding Sri Lanka අරමුදල” විනිවිදභාවයෙන් යුතුව කළමනාකරණය කිරීම, අරමුදල් සම්පාදනය සහ අයවැය සැලසුම් කිරීම මෙයට පැවරේ.
- දත්ත සහ තොරතුරු පද්ධති පිළිබඳ කමිටුව: ප්‍රතිසාධන ක්‍රියාවලියට අවශ්‍ය දත්ත හුවමාරුව සහ නව්‍ය තාක්ෂණය භාවිතයෙන් තීරණ ගැනීමට සහාය වීම සිදු කරයි.
- මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව: ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීම සහ සන්නිවේදන උපාය මාර්ග හැසිරවීම මෙම කමිටුවේ වගකීමයි.
මෙම කාර්ය සාධක බලකායට සිය රාජකාරි ඉටු කිරීම සඳහා රජයේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමටත්, අවශ්‍ය පරිදි කරුණු සොයා බැලීමටත් ජනාධිපතිවරයා විසින් පූර්ණ බලය පවරා ඇති අතර, වරින් වර ප්‍රගතිය ජනාධිපතිවරයා වෙත වාර්තා කළ යුතුය.
මෙම පියවර මගින් “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජන ජීවිතය හා රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජය බලාපොරොත්තු වේ.
