ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ (Mannar basin) ඇති මුහුදේ ස්වාභාවික තෙල් හා ගෑස් නිධිවලට පුද්ගලික සමාගම් ආයෝජකයන් ලෙස සොයාගැනීම වෙනුවෙන්, අලෙවිකරණ උපදේශකයෙකු මේ සතියේදී තෝරාගනු ඇතැයි ඩේලි මිරර් වාර්තා කර තිබෙනවා.
මීට පෙර, මෙම කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර ලංසු කැඳවීම සඳහා සුදුසුකම් ඇති විශේෂඥ දැනුමැති සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා තිබුණා.
එහිදී රජය සිදු කරන්නේ, සුදුසු සමාගමක් තෝරාගැනීමේ කටයුත්ත වෙනුවෙන්- සමාගමක් තෝරාගැනීමයි.
ශ්‍රී ලංකාව තුළ, ස්වාභාවික ගෑස් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් 2020 සැප්තැම්බර් මාසයේදී ගැසට් කරන ලද අතර, එය දේශීය ඉල්ලුම නිර්මාණය කිරීමේ උපාය මාර්ග සහ මුහුදේ ඇති ගෑස් පිරිපහදු කොට අලෙවි කිරීම සඳහා මෙහෙයුම්කරුවන්ට විකල්ප ලබා දීමට නියමිතයි. ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා 2021 අංක 21 දරන නව පෙට්‍රෝලියම් සම්පත් පනතක් ද හඳුන්වා දී තිනෙවා.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) ද මේ කටයුත්ත කළ හැකි එක් පාර්ශ්වයක් වෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දීත් ඉන්දියාව සහ කටාර් රාජ්‍යයන්හි සමාගම් මෙම නිධිවලට ඇස ගසාගෙන සිටිනවා.
රටේ විවිධ ස්ථානවල ස්වාභාවික ගෑස් නිධි හඳුනාගෙන තිබුණද, රජය මුලින්ම සැලසුම් කරන්නේ මන්නාරම් ද්‍රෝණියේ කොටස් හතරක ආයෝජන කටයුතු ආරම්භ කිරීමටයි.
පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ 2021 මාධ්‍ය නිවේදනයකට අනුව, මන්නාරම් ද්‍රෝණියේ ඇමරිකානු ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් හා ගෑස් සම්පත් පවතිනවා.
ශ්‍රී ලංකා රජය විසින් 2008 වසරේදී රටේ වයඹ දිග වෙරළ තීරයෙන් ඔබ්බේ තෙල් හා ගෑස් ගවේෂණය කිරීම සඳහා කේර්න් ඉන්දියා ලිමිටඩ් (Cairn India Limited) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළා.
ඉන්දීය සමාගමේ අනුබද්ධිත සමාගමක් වන කේර්න් ලංකා ලිමිටඩ් (Cairn Lanka Limited), 2011 වසරේදී මන්නාරම් ද්‍රෝණියේ බැරැකූඩා (Barracuda) සහ ඩොරාඩෝ (Dorado) ක්ෂේත්‍රවල ගවේෂණ ළිං දෙකක් විද ස්වාභාවික ගෑස් සොයා ගනු ලැබුවා.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී එය නිස්සාරණය කිරීම අධික ලෙස මිල අධික බව සැලකූ අතර ව්‍යාපෘති කල් ගියා.
