ගෘහ සේවකයන් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියක් වන ප්‍රොටෙක්ට් සංගමය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අතර හමුවක් ඊයේ(29) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී සංගමයේ ලේකම් කල්ප මධුරංග සහ සහභාගී වූ සාමාජිකයින් විසින් අවිධිමත් අංශයේ සේවකයන් මුහුණ දෙන ගැටළු සහ ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති වල අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කළා. එහිදී ගෘහ සේවකන් සඳහා කම්කරු නීති සකස් කිරීමේදී මතු වන ගැටළු සහ ඒ සඳහා යෝජිත ප්‍රතිචාර සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වන යෝජනාද භාර දෙන ලදී.
ගෘහස්ථ ශ්‍රමිකයන් ඇතුළු අවිධිමත් ශ්‍රමිකයන් අනෙකුත් කම්කරුවන් මෙන්ම අයිතිවාසිකම් සහිත කම්කරුවන් පිරිසක් බවට පත් කිරීමේදී සංගමයේ වන ඉල්ලීම් කිහිපයක් පිළිබඳව එහිදී අමාත්‍යවරයාට පැහැදිලි කරන ලදී.
1.ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ශ්‍රමිකයින් (ගෘහ සේවකයින්) සඳහා කම්කරු නීති සකස් කර යහපත් රැකියා කොන්දේසි සහ රැකියාවේ අයිතිවාසිකම් තහවුරු කිරීම.
2.ශ්‍රී ලංකාව තුළ ILO C189 සහ C190 සම්මුතීන් අපරානුමත කිරීම.
3.අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක්/ අරමුදලක් සකස් කිරීම.
4.අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ගේ රැකියාවේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සහ ජිවන තත්ත්වය නගාසිටුවීම සඳහා ජාතික ප්‍රත්පත්තියක් සකස් කිරීම.
5.සංක්‍රමණ ශ්‍රමිකයින් (Migrant Workers) අයිතිවාසිකම් සහිත පිරිසක් බවට පත් කිරීම සහ සුනිසි රැකියා තත්වයන් තහවුරු කිරීම.
1.ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ශ්‍රමිකයින් (ගෘහ සේවකයින්) සඳහා කම්කරු නීති සකස් කර යහපත් රැකියා කොන්දේසි සහ රැකියාවේ අයිතිවාසිකම් තහවුරු කිරීම.
ශ්‍රී ලංකාවේ යටත් විජිත කාලයේ සිටම කාන්තාවන් සහ පිරිමින් ගෘහ ගෘහ සේවකයින් ලෙස නිවෙස්වල සේවය කරන නමුත් මේ වන තෙක් ඔවුන්ට අදාළ කිසිදු කම්කරු නීති ආවරණයක් නොමැත. 2020 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සිදු කරන ලද ශ්‍රම බලකා සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයින් ලෙස සේවය කරන පුද්ගලයින් 80,000 ක් පමණ වාර්තා වේ. නමුත් මේ වන තෙක් ගෘහ සේවය රැකියාවක් ලෙසත්, ගෘහ සේවකයින් ද ශ්‍රමිකයින් පිරිසක් ලෙසත් පිළිගැනීමට අදාළ කම්කරු නීති අණපනත් ශ්‍රී ලංකාව තුළ සකස් කර නැත.
ගෘහ සේවකයින් සඳහා කම්කරු නීති සකස් කිරීම සඳහා අප 2018 වසරේ සිට පැවති සෑම රජයකම කම්කරු අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර ඇති අතර ඊට අදාළව පොරොන්දු රැසක් ලැබී ඇත. නමුත් ඒ කිසිවක් ඉටු නොකිරීම තුළ කම්කරු අමාත්‍යංශය සහ එම අමාත්‍යවරුන්, කම්කරු දෙපාර්තමේන්තුව පිළිබඳව අප සාමාජිකයන්ට ඇත්තේ දැඩි අසතුටකි.
2016 අංක 03 දරණ ජාතික අවම වේතන පනතින් ගෘහ සේවකයින්ව ඉවත් කර ඇති වගන්තිය ඉවත් කිරීම.
•EPF සහ ETF සහ පනත් වල ආවරණයට ගෘහ සේවකයින්ද ඇතුළත් කිරීම.
•නව සේවා නියුක්ති පනත් කෙටුම්පත් සම්මත කරන්නේ නම් එහි සඳහා ගෘහ සේවකයින් පිළිබඳව වන වගන්ති සවිස්තරාත්මකව දැක්වීම.
•ගෘහස්ථ ශ්‍රමිකයන් සඳහා විශේෂිත නව පනතක් ඇති කිරීම.
2.ශ්‍රී ලංකාව තුළ ILO C189 සහ C190 සම්මුතීන් අපරානුමත කිරීම.
ගෘහ සේවය සුනිසි රැකියාවක් (Decent Work) බවට පත් කිරීමටත් ගෘහස්ථ ශ්‍රමිකයින් යහපත් රැකියා කොන්දේසි සහ අයිතිවාසිකම් සහිත පිරිසක් බවට පත් කිරීමටත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සුවිශේෂී සම්මුතියක් 2011 වසරේදී ලෝකයට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාව විසින් මෙම සම්මුතිය රට තුළ අපරානුමත කරන බව සහතික කර ඇතත් මේ වනතෙක් එය සිදු කර නැත. මේ පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානයද අවධානයෙන් සිටී.
C190 යනු වැඩ ලෝකයේ වන හිංසනය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතන්තර සම්මුතියයි. මෙම ජාත්‍යන්තර සම්මුතීන් රට තුළ අපරානුමත කරන ලෙස ඉල්ලා සිටිමු.
3.අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ඇතුළු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීම.
ලෝක බැංකුවද සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් බහුතර වන්නේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන්ය. එය සමස්ත ශ්‍රම බලකායෙන් 70% කි. සම රජයක් විසින්ම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබඳව අවධානය යොමු කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති සිදු කරන නමුත් මෙම අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සඳහා අවධානය යොමු නොකරයි.
මෙම ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිදු සමාජ ආරක්ෂණ අරමුදලක් හෝ වැඩපිළිවෙලක් නොමැත. ඒ හේතුවෙන් මෙම රැකියාවල නියුතු කම්කරුවන් තම රැකියාව කළ නොහැකි තත්ත්වයන්ට පත් වීමේදී අන්ත අසරණ බාවයට පත් වේ.
එසේම මෙම තත්වය හමුවේ වයස්ගත වීමේදී සහ රෝගාතුර වීමේදී මෙම ශ්‍රමිකයන් යැපෙන ජනගහණයට එකතු වීමද දැකිය හැකිය. නමුත් මෙම ශ්‍රමිකයන් සඳහා ද රජය වගකියන සමාජ ආරක්ෂණ අරමුදලක් හෝ වැඩපිළිවෙලක් සකස් කිරීම තුළ මෙම ශ්‍රමිකයන් සඳහා යහපත් විශ්‍රාම ජිවිතයක් සහ හදිසි අවස්ථාවන්හිදී මුහුණ දීමට හැකියාවක් සහිත පිරිසක් බවට පත් වනු ඇත.
මේ පිළිබඳව අප රජයට යෝජනා ඉදිරිපත් කර ඇති අතර අවසන් වරට එය හිටපු කම්කරු අමාත්‍යවරයා විසින් “ගරු සරු” නම් ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට උත්සාහ කළ බව දක්නට ලැබිණි. වසරක් පුරා අමාත්‍යංශය මගින් එය ප්‍රචාරණ වැඩපිළිවෙලක් ලෙස ගෙන ගියද ඊට අදාළ කිසිදු ප්‍රතිපත්තිමය කාරණා සිදු කර නොමැත. අවිධිමත් අංශය සඳහා විශ්‍රාම වැටුප් ඇතුළු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කර එම ශ්‍රමිකයන්ගේ ශ්‍රමයේ වටිනාකම රජය මගින් පිළිගන්නා ලෙස ඉලා සිටිමු.
4.අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ගේ රැකියාවේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සහ ජිවන තත්ත්වය නගාසිටුවීම සඳහා ජාතික ප්‍රත්පත්තියක් සකස් කිරීම.
අවිධිමත් අංශය රටේ ආර්ථිකයට සෘජුවම සහ වක්‍රාකාරයෙන් තම දායකත්වය සපයයි. ඔවුන් ශ්‍රී ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යංශය මගින් හඳුනාගෙන යහපත් කම්කරු ප්‍රමිතීන් වල ආවරණය ලබා දීමට කටයුතු කර නැත. මෙය බරපතල තත්වයකි. අවිධිමත් අංශයේ රැකියා ක්ෂේත්‍ර සහ රැකියා වල නියුතු ශ්‍රමිකයින් හඳුනාගෙන ඔවුන් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම, එම රැකියා ක්ෂේත්‍ර වල සහ ශ්‍රමිකයන්ගේ ගැටළු විසඳීම සහ යහපත් රැකියා කොන්දේසි සහ අයිතිවාසිකම් සහිත පිරිසක් බවට පත් කිරීම සඳහා රජය විසින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රමිකයන් සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර එමගින් අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ද නිශ්චිතව ආවරණය විය යුතු වේ. තවද එම ප්‍රතිපත්තීන් සකස් කිරීමේදී ඒ ඒ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති වල දායකත්වයද ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු වන අතර එලස සිදු නොකිරීම තුළ ශ්‍රමිකයන්ට නොගැළපෙන සහ අහිතකර ප්‍රතිපත්ති නිසා එය අසාර්ථක විය හැකිය.
5.ශ්‍රී ලංකාවේ සංක්‍රමණ ශ්‍රමිකයින් අයිතිවාසිකම් සහිත පිරිසක් බවට පත් කිරීම සහ සුනිසි රැකියා තත්වයන් තහවුරු කිරීම.
සංක්‍රමණික ශ්‍රමිකයින් යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය සහ එම ආර්ථිකයේ සුවිශේෂී කොටස්කාරයින් ලෙස අප සලකමු. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දැඩි ලෙස අර්බුධයන්ට ලක් වෙද්දී මෙරටට එවන ලද ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාව නැවත යථාතත්ත්වයට පත් කිරීමට දායකත්වය සැපයූවේ සංක්‍රමණික ශ්‍රමිකයින් විසින්. නමුත් විවිධ රජයන් මෙම ශ්‍රමිකයින්ව දේශපාලනික වාසි වෙනුවෙන් විවිධාකාරයේ ව්‍යාජ නම් ආරෝපණය කරමින් හඳුන්වා තම අරමුණු ඉටු කරගන්නා ආකාරයක් දක්නට ලැබේ. මෙය ඉතා ඛේදනීය තත්වයකි. මක් නිසාද ඉතා අසීරු කොන්දේසි යටතේ තම ප්‍රියයන්ගෙන් වෙන්ව ගොස් රැකියා කරන මෙම ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණික කර්මාන්තය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති නොවිඳී.
මේ පිළිබඳව අප “සංක්‍රමණික හඬ ජාලය” නම් දිස්ත්‍රික්ක 20 ක් පුරා විහිදී ඇති ජාතික මට්ටමේ ජාලය සමග කටයුතු කරමින් සිටින අතර අප ජාලය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණික කර්මාන්තය විධිමත් සහ සංක්‍රමණික ශ්‍රමිකයා ශ්‍රමිකයෙකු බවට පිළිගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඇත.
•තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි සංක්‍රමණික සේවකයන්ගේ නියෝජනය.
•සංක්‍රමණික සේවකයින් සඳහා ඡන්ද ප්‍රවේශය.
•සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම සඳහා සංවිධානය කිරීම.
•වෙනස් කොට සැලකීමේ භාවිතයන් මුලිනුපුටා දැමීම ප්‍රවර්ධනය කිරීම සහ කම්කරු සංක්‍රමණ කර්මාන්තය තුළ ඇතුළත්බවේ සංස්කෘතියක් පෝෂණය කිරීම.
•ගමනාන්ත රටවල වැඩිදියුණු කළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල.
නව කම්කරු නීති සංශෝධනය සඳහා විවිධ මුලපිරීම් සිදු කර ඇති බවත් විශේෂ කමිටුව විසින් එහි අධ්‍යනයන් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසිය. ඒ අනුව ප්‍රොටෙක්ට් සංගමයේ යෝජනා ද එම කමිටුවට ඉදිරිපත් කරන කඩිනමින් ගත හැකි ක්‍රියාමාර්ග ගෘහ සේවකයන් සහ අවිධිමත් අංශය සඳහා ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
