පුවත්පතක පළ වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැන්වීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිසම සහ පිළිතුරු දීමේ අයිතිය වැනි ක්‍රමවේද තිබියදී ප්‍රවෘත්ති ලිවීම අපරාධ වරදක් බවට පත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තුවේදී පැවසීය.
උතුරේ සැමරීම් පිළිබඳ දෙසැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයකදී ඔහු ඒ බව පැවසීය.
‘අනුරාධපුර ප්‍රදේශයේ ඇහැටුවැවදී කරපු ප්‍රකාශයක් චේතනාන්විතව සාවද්‍ය ලෙස ප්‍රකාශ කරලා තිබුණා. මා කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් විකෘති කරලා සාවද්‍ය ලෙස පළ කරලා තිබුණා. ඒ පිළිබඳ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා.‘ යනුවෙන් පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසීය.
වැරදි ප්‍රවෘත්ති පළ කිරීම අපරාධමය වරදක් බවට පත් කිරීම මාධ්‍ය නිදහස් සීමා කිරීමක් බව ලොව ප්‍රකට පිළිගැනීමක් වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි දරුණු අපරාධ පිළිබඳ විමර්ශන සිදුකරන ආයතනයක් වෙත මාධ්‍යවේදීන් කැඳවීම බරපතල ලෙස මාධ්‍ය නිදහස සීමා කිරීමකි. ජාතිවාදයට එරෙහි වීම රජයේ වගකීමක් වන අතරම, වැරදි ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දැක්වීම රජයේ වගකීමක් වන බවද ඉතා පැහැදිලිව සිහිපත් කරන අතර, එය සිදු කිරීමේදී මාධ්‍ය මර්දනය කිරීම වෙනුවට ලොව පිළිගත් ක්‍රමවේද පාවිච්චි කළ යුතු බව අවධාරණය කර සිටින්නෙමු.
වහාම සිය ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයාට බල කර සිටිමු.
