සියලු ම කේෂ්ත්‍රවල ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකාව ද පාර්ශවකරුවෙකු වන ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය මගින් ළමයෙකු සතු සිවිල්, දේශපාලන, ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අවධාරණය කරන බව රජය පවසනවා.
දෙමව්පියන්ගේ, නීත්‍යානුකුල භාරකරුවන්ගේ හෝ වෙනත් තැනැත්තෙකුගේ රැකවරණයෙහි සිටින ළමයෙකු ලිංගික අපයෝජනය ද ඇතුළුව සියලු ම අකාරයේ ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම, තුවාල සිදු කිරීම හෝ අපයෝජනයට ලක් කිරීම, නොසලකා හැරීම හෝ නොසැලකිලිමත්භාවය, අයුතු ලෙස සැලකීම හෝ සුරාකෑමට ලක් කිරීම ආදියෙන් ආරක්ෂා කිරීම සඳහා යෝග්‍ය සියලු ම නීතිමය, පරිපාලනමය සහ අධ්‍යාපනික ක්‍රියාමාර්ග රාජ්‍ය පාර්ශවකරුවන් විසින් ගත යුතු බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියේ 19 (1) ව්‍යවස්ථාව මගින් පෙන්වා දී තිබෙනවා.
නිවසේදී, විකල්ප රැකවරණය පසුබිම තුළ, දණ්ඩන නියෝග ක්‍රියාත්මක කිරීමේ ආයතනවල සහ පාසල්වල ශාරීරික දඬුවම් ලබා දීමට අදාළව පවතින නීතිමය විධිවිධාන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශාරීරික දඬුවම් ඇතුළු අපයෝජනයන්ට සහ ප්‍රචණ්ඩතාවයට ළමුන් විශාල සංඛ්‍යාවක් ගොදුරු වන තත්ත්වයක් පවතින බව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී සිදු කරන ලද නිරීක්ෂණ මගින් පෙන්වනු ලැබ තිබුණා.
එසේම, මෑතකදී ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ශ්‍රවණාබාධයකට ලක් වූ සිසුවෙකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් අදාළ ගුරුවරයා සහ රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ උල්ලංඝණය කර ඇති බවට තීරණය කරනු ලැබ ඇත.
එවැනි ශාරීරික දඬුවම් ලබා දීම ළමයෙකුට ශාරීරික සහ මානසික වශයෙන් දිර්ඝකාලීන බලපෑමක් සිදු කරනු ලබන බව විද්‍යාත්මකව ද තහවුරු වී තිබෙනවා.
එබැවින් කුරිරු, නින්දිත ශාරීරික සහ ශාරීරික නොවන දඬුවම් කාණ්ඩය යටතට ගැනෙන ඕනෑම ක්‍රියාවක් ආවරණය වන පරිදි නීතිමය සංශෝධන කඩිනමින් හඳුන්වා දිය යුතුව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
