තරිදු උඩුවරගෙදර
අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කළා කියමින්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කරලාලු. මෙය සංස්කෘතික අමාත්‍යාශය විසින් සංස්කෘතිය කියන්නේ කුමක්දැයි නොදැන- විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උමතු සහගත ක්‍රියාවන් ඉදිරියට ගෙන යෑමක් විදියට සැලකිය හැකියි.

මීට පෙර එම අමාත්‍යවරයාම අවුරුදු උත්සවවල ක්‍රීඩා තරග ‘සංස්කෘතියට අනුකූල‘ විය යුතු බව කියමින් ක්‍රීඩා තරග ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතියට යටත් කළ යුතු බවට නව විධානයක් ලබා දී තිබුණා. ඒ අනුව, ජනතාව පාඩුවේ අවුරුදු ක්‍රීඩාවක් කළත් එයත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණයට ලක් විය යුතු බව කීවා.
‘සුරි කෑරිය මංගල්ලේ‘ යනුවෙන් සදහන් කරමින් පළ කරන ලද මේ කියන විමර්ශනයට මුහුණදෙන ගීතය මුලින් පළ කර තිබුණේ ඔකපතන විද්‍යාලය නමින් වූ ෆේස්බුක් පිටුවේයි. මෙය ස්වාධීන රූපවාහිනියේ අවුරුදු උත්සවය තේමා කරගෙන වසර කිහිපයකට පෙර ‘සූරිය මංගල්ලේ‘ යන නමින් නිකුත් කළ ගීයක්. රෝහණ බැද්දගේ සමග රන්වල බලකාය ඒකාබද්ධව ගයන මේ ගීය, සංදීප්ත ගුණවර්ධනගේ සංගීතයෙන් නිර්මාණය කරන ලද්දක්. ඇත්තෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් ගීත බොහොමයක් නිර්මාණය වෙන පසුබිමක මේ ගීය අතිවිශිෂ්ඨ සහ රසවත් ගීයක් ලෙස සැලකිය හැකියි. ඇත්තටම, පැරඩි ගීයක් ඒ තනුවටම නිර්මාණය වීම එම ගීයට කරන උපහාරයක් විදියට සලකන්න පුළුවන්.
මේ වෙද්දී එම ගීතය පළ කළ ඔකපතන විද්‍යාලයීය ෆේස්බුක් පිටුව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එය බලපෑම් මත සිදු කර තිබේද, මෙම විමර්ශනය හේතුවෙන් පිටුවෙ නිර්මාණකරුවන්ම ඉවත් කර තිබේද යන්න පැහැදිලි නැහැ.
සුරි කෑරිය මංගල්ලේ ගීය අධිවේගයෙන් ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍යවල ජනප්‍රිය වුණා. විශාල පිරිසක් එම ගීය පාවිච්චි කරමින් ටික්ටොක් වීඩියෝ නිර්මාණය කර තිබුණා.
‘දෙත්තකේ ඉද කජ්ජ බිඩං
අන්න පෞරුදු බකන හුළං
කෑරිය මංගල්ලේ – සුරි කෑරිය මංගගල්ලේ
නැන්දෙ කිරිකැණු පුත්තා හුදං
පිහිට බලදෙයි කඩුබාරං‘
ආදී දෙපිට කැපෙන වචනවලින් සමන්විත වූ මේ ගීය, සාම්ප්‍රදායික අවුරුදු ගීයක් උපහාසයට ලක් කිරීමයි සංස්කෘතික අමාත්‍යාංශය කලබල වී තිබෙන්නේ.
මෙය අයත් වන්නේ ‘පැරඩි‘ හෙවත් හාස්‍යානුකරණය කියන කලාත්මක ප්‍රවේශයට. ලොව පුරා ඉතා ප්‍රසිද්ධ පිළිගත් කලාකරුවන් විශාල පිරිසක් මෙලෙස හාස්‍යානුකරණයේ යෙදී තිබෙනවා.
කෙසේ වෙතත් හාස්‍යානුකරණය වැනි මූලිකම සංස්කෘතිකාංගයක් ගැන නොදන්නා, සංස්කෘතිය කියන්නේ පරණ පන්සල් ඉදිකිරීම කියා සිතන්නෙකු ලෙස පෙනී යන- සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත පෙර කී පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, ‘විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බවයි. ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව‘, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව, හාස්‍යානුකරණ කලාව ගැන අබමල් රේණුවක් නොදන්නා මේ වගකීම් සහගත තනතුරුවල ඉන්න මිනිසුන් ගීයක් ‘විකෘති කළා‘ යැයි කියමින් විශාල නාඩගමක් නටන්නටත්, පාඩුවේ සමාජ මාධ්‍යවල විහිළුවක් කරන්නට උත්සාහ කළ හොරුන්- මංකොල්ලකාරයන්- වංචාකාරයන් නොවන ඇඩ්මින්වරයෙකුට හෝ පිරිසකට විමර්ශන ගාණේ ලගින්නටත් සිද්ධ කර තිබෙනවා. මෙය ඇත්තටම නිර්මාණශීලී පුද්ගලයන් බිය ගැන්වීමක්. නිර්මාණශීලී ක්‍රියා අධෛර්යවත් කිරීමක්. තරුණ පරපුරේ නිදහස සීමා කිරීමක්. සංස්කෘතික අමාත්‍යාංශය විසින් ක්‍රියාකාරීවම ලංකාවේ සංස්කෘතිය ආපස්සට ඇදීමට කටයුතු කිරීමක්.
සමාජ මාධ්‍යවල මෙම උමතු තීන්දුවත් හාස්‍යයට ලක් වී තිබෙනවා. ‘විදුහල්පතිතුමනි! දින කිහිපයකට විදේශගත වෙන්න.‘ – ‘ඔකපතනෙන් බිහි වූ නීතිඥවරුන්ගේ සහාය අවැසි මොහොතයි‘ ආදී කමෙන්ටු පළ කරමින් මෙම තීන්දුව හෑල්ලුවට ලක් කරමින් පුද්ගලයන් හාස්‍යජනක ප්‍රතිචාර පළ කර තිබෙනවා. ‘ඊයා විරි කැදුරයා‘ – ‘ආතල් දන්නැති වුං ටිපර් වෙලා‘ ආදී වශයෙන් ප්‍රතිචාර ලැබී තියෙනවා.
ඔකපතන විද්‍යාලය ප්‍රසිද්ධියට පත් වුණේ මීට පෙර උපහාසය උදෙසා නිර්මාණය කළ ෆේස්බුක් පෝස්ටුවක් සහ එය අත්තනායක එම්. හේරත් විසින් සැබෑවක් ලෙස ගෙන- ‘ඕකඩපතන විද්‍යාලයේ සිසුවෙක් චන්ද්‍රිකාවක් හැදුවා ගිය සතියේ.‘ යනුවෙන් කළ ප්‍රකාශයක්. එයින් පසු ඔකපතන අතිශය ප්‍රසිද්ධ වුණා. එයින් පසු ඔකපතන විද්‍යාලය නමින් හාස්‍යමය පිටුවක් නිර්මාණය කෙරුණා. එහි බොහෝ විට පළ වුණේ, හාස්‍යමය ව්‍යාජ පාසලක සිදුවීම් මුල් කරගත් දේවල්. එම පිටුව වේගයෙන් ජනප්‍රිය වුණා. එම පිටුවේ මූලිකම පදනම වී තිබුණේ මෙරට ජන සංස්කෘතිය තුළ ඇති පද පෙරළි මුල් කරගත් වචන. පාලම් කොකා, කෙකටපුළිය ආදී නොයෙකුත් පද පෙරළි වචන පාදක කරගත් නිර්මාණ එම පිටුවේ පල වුණා. බොහෝ අය ඒවා හුවමාරු වුණා.
අත්තනායක එම්. හේරත් යනු ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව ඇතුළු වැඩසටහන්වලින් සංස්කෘතිය, සදාචාරය ගැන බණ දෙසන්නෙක්. සූරිය මංගල්ලේ ගීය තැනුවේත් ස්වාධීන රූපවාහිනියේමයි. ඔවුන් පොදුජනතාවගේ සංස්කෘතිකාංග, ජන ක්‍රීඩා, ජන කලා ආදී සියල්ල ‘දේව ඇදහිලි‘ බවට හරවනවා. මහපොළොව එක්ක කිසිම සම්බන්ධයක් නැති, විහිළුවක් නොතේරෙන, ගල්ගැසුණු ගතානුගතික මිනිස්සු නිර්මාණය කරනවා.
වෙබ්ස්ටර් ශබ්ද කෝෂයට අනුව, හාස්‍යානුකරණ කලාව හෙවත් පැරඩි කලාව මෙසේ සරලව විස්තර කළ හැකියි. ‘කතුවරයෙකුගේ හෝ කෘතියේ විලාසය විකට ප්‍රයෝගයක් උදෙසා හෝ සමච්චල් කිරීම සඳහා සාම්‍යයක් ඇතිව අනුකරණය කරන සාහිත්‍ය හෝ සංගීත කෘතියක්‘ හාස්‍යානුකරණ කලාවට අයිතියි. සරල බසින් කීවොත් මිනිස්සු හිනැස්සවීමේ හෝ යම්කිසි දෙයක් සමච්චලයට ලක් කිරීමේ වුවමනාවෙන් ලෝකයේ තියෙන ගීයක් හෝ කලාකෘතියක් අනුකරණය කිරීම‘ පැරඩියක් ලෙස හදුන්වනවා.
ලෝකයේ ඕනෑම පුද්ගල චරිතයක්, පුරාවෘත්තයක්, කලාකෘතියක්, ඉතිහාස කතාන්දරයක් හාස්‍යානුකරණයෙන් යළි ඉදිරිපත් කළ හැකියි. ලෝක ඉතිහාසයේ විශිෂ්ඨම කලා නිර්මාණයක් වන ‘monty python and the holy grail’ චිත්‍රපටිය හාස්‍යානුකරණ නිර්මාණයක්. එහිදී බටහිර සමාජයේ ප්‍රමුඛම ආගමික පුරාවෘත්තයක් වන ‘ශුද්ධ වූ කුසලානය‘ පිළිබද කතාව මෙන්ම ආතර් රජුගේ කතාවත් සම්පූර්ණ උපහාසයට ලක් කරනවා. ‘monty python life of brian’ චිත්‍රපටියේදී ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබද කතාව පැරඩි ආකාරයෙන් ඉදිරිපත් කරන අතර, ‘Monty Python’s Flying Circus‘ නම් වූ 1969 බීබීසී රූපවාහිනී කතා මාලාවේදී බොහෝ දේ උපහාසයට ලක් කර තිබෙනවා. මෑත ඉතිහාසය තුළ “Weird Al” Yankovic ගායන ශිල්පියෙකු ලෙස ලොව ප්‍රකටම ගීත හාස්‍යානුකරණයෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. Jimmy Fallon හා Saturday night live ඇතුළු රාත්‍රී වැඩසටහන් ඉදිරිපත් කරන්නන් පැරඩි නිර්මාණ ලෙස රටේ ජනාධිපතිවරයාගේ සිට, සංස්කෘතිකාංගවල සිට බොහෝ දේ හාස්‍යානුකරණයෙන් ඉදිරිපත් කරනවා.

එමෙන්ම එය ශ්‍රී ලංකාවේ කලාකරුවන්ටත් අලුත් දෙයක් නෙවෙයි. දීපාල් සිල්වාගේ ගීත හින්දි සහ සිංහල තනු අනුකරණය කරමින් හාස්‍ය ගී ලෙස සංගීත වේදිකාවල අසන්නට ලැබුණා.
ගුවන්විදුලි නාළිකාවලින් ‘ටාසන් බාප්පා‘ ඇතුළු ජනප්‍රිය වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කරමින් පසුකාලීනව හාස්‍යානුකරණ ගීත ඉදිරිපත් කලා.
මෑතම දිනවල සදරු සත්සර නම් වූ තරුණ කලාකරුවා ටික්ටෝ සහ යූටියුබ් මාධ්‍යවලින් පැරඩි නිර්මාණ ඉදිරිපත් කරමින් අතිශය ජනප්‍රිය වුණා.
ඒ අනුව හාස්‍යානුකරණය කියන්නේ අලුතින් ආ, කලබල විය යුතු තත්වයක් නෙවෙයි. ඒ වගේම හාස්‍යානුකරණයත් සංස්කෘතියේ කොටසක්. අද මුළු සමාජයම ‘සුරි කෑරිය මංගල්ලේ‘ යන ගීය සමරනවා නම්, එය සංස්කෘතිකාංගයක්. ඒ අනුව සංස්කෘතික අමාත්‍යාංශයට ‘උසස් සහ ප්‍රභූ‘ කියා සම්මත එක් ආරක කලාව පමණක් රැකීමේ වගකීමක් නොව සමස්ත සංස්කෘතිය වෙනුවෙන් වගකීමක් තිබෙනවා. එක් සංස්කෘතිකාංගයකට එරෙහිව සීඅයිඩී පරීක්ෂණ ආරම්භ කිරීම විදුර වික්‍රමනායක අමාත්‍යවරයා තමන් සතු වගකීම ගැන අනවබෝධයෙන් කටයුතු කරන බව පෙන්නුම් කරන්නක්.
වෙබ්ස්ටර් ශබ්ද කෝෂ්‍යට අනුව ‘සංස්කෘතිය‘ යන්නෙන් අදහස් වන්නේ ‘වාර්ගික, ආගමික හෝ සමාජ කණ්ඩායමක සම්ප්‍රදායික විශ්වාසයන්, සමාජ ආකෘති සහ භෞතිකමය ලක්ෂණවල එකතුව හා යම්කිසි ස්ථානයක හෝ වේලාවක සිටින පුද්ගලයින් විසින් එකිනෙකා සමග බෙදාගෙන පවත්වාගෙන යන සාමූහික පැවතුම් ලක්ෂණ.‘
ඒ අනුව අපේ රටේ මිනිස්සුන් එකට බෙදාගත්ත සාම්ප්‍රදායික විශ්වාසයන් වගේම මේ මොහොතේ අපි බෙදාගනිමින් ඉන්න සාමූහික දේවල් සියල්ල සංස්කෘතියට අයත්. සංස්කෘතිය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එකම තැනක ගල්ගැසුණු, හැම අවුරුද්දේම එකම ගීත ගයන, හැම අවුරුද්දේම එකම අවුරුදු ක්‍රීඩා කරන ගල්ගැසුණු දෙයක් නෙවෙයි සංස්කෘතිය.
එහෙත්, ඔය ස්වාධීන රූපවාහිනිය, අත්තනායක එම්. හේරත් ඇතුළු සමහර අය විසින් ඔවුන්ගේ ආධිපත්‍යය යටතේ පවත්වාගෙන යන දෙයක් බවට අවුරුදු ක්‍රීඩා ආදිය පත් කරලා. ඒ අනුව එයාලා කියන එක හරි එක වීමත්, ජනතාව කැමති දෙයක් කළාම එය ‘විකෘතියක්‘ විදියට පාලනය කරන්නට උත්සාහ කිරීමත් අලුත් උමතුවක් බවට පත් වෙලා. එහෙත්, මේ කිසිවක් ආණ්ඩුවට අයිති දේවල් නෙවෙයි. ඒවා අයිති පොදුජනයාට. ඒකට අත තැබීමේ අයිතියක් විදුරට නැහැ.
එයටත් වඩා මෙහි හාස්‍යජනකම දෙය වන්නේ විදුර වික්‍රමනායක මේ වෙද්දී පාලනය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ‘ජන ක්‍රීඩා‘ සහ ‘ජන කලා සම්ප්‍රදායට අයත්‘ නිර්මාණම වීම. සූරිය මංගල්ලේ ගීය නිර්මාණය කරන්නට දායක වූ රංවල බලකාය මෙන්ම රෝහණ බැද්දගේත් මෙරට ජනකලාවේ තිබෙන ශබ්ද, තනු, වචන ඇසුරෙන් නිර්මාණ කළ අය. ඒ අනුව ඔවුනුත් තමන්ගේ කලා ජීවිතය පුරාවට කර ඇත්තේ ජනකලාවේ තිබුණු දේවල් ‘විකෘති කිරීම‘ කියා කියන්න පුළුවන්. විශේෂයෙන් සූරිය මංගල්ලේ ගීයට පාවිච්චි කර ඇති වචන බොහොමයක් පවා ජනකලාවේ තිබුණු ඒවා. ඒවාට බටහිර සංගීතය මුසු කරමින් ‘සූරිය මංගල්ලේ‘ කර ඇත්තේ විකෘතියක්ද? රංවල බලකාය තමන්ගේ පැවැත්මම හදාගෙන තිබෙන්නේ පොදුජන අවකාශයේ තිබුණු හඩවල් ප්‍රතිනිර්මාණය කරමින් නම්, පොදුජනතාව අතර සිටින පිරිස් ඔවුන්ගේ හඩක් හාස්‍යානුකරණයෙන් ප්‍රතිනිර්මාණයට ලක් කිරීම කොහේවත් යන සංස්කෘතික ඇමතියාට දරාගන්නට බැරි අහවල් එකකටද?
