PSTA ට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදෙයි – හකුලා නොගතහොත් දැවැන්ත විරෝධතා!

ආණ්ඩුව ගෙනවිත් ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) ඇතුළු මර්දනකාරී අණපනත් පෙළට එරෙහිව දැඩි විරෝධය පලකරමින්, ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් විශේෂ සංදේශයක් ඊයේ (28) කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වතුසේවා සංගමය අතු වෘත්තීය සමිති ගණනාවක ප්‍රධාන නියෝජිතයින් ඇතුළුව, ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව නියෝජනය කරන නායකයින් රැසක් එක්ව සිටියහ.

වැඩකරන ජනතාව ලෙස මෙවැනි මර්දනකාරී පනත් කෙටුම්පත් හමුවේ දිගින් දිගටම මතු කරන ලද සාධාරණ විරෝධතාවයන් හා මහජන හඬ නොසලකා හරිමින්, ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මෙවැනි මර්දන අණපනත් සම්මත කරගැනීමට හා ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක නිරත වීම මෙහිදී සහභාගී වූවන් විසින් හෙලා දකින ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලය හමුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කර සිටියේ, ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහෝසි කරන මෙම මර්දනකාරී අණපනත් වහාම හකුලා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. එසේ නොමැති වුවහොත්, සමස්ත වැඩකරන පන්තිය හා බහුජන සංවිධාන ඒකාබද්ධ කරගනිමින් ඉදිරියේදී මීටත් වඩා සංවිධානාත්මක වූත් දැවැන්ත වූත් විරෝධතා මාලාවක් රට පුරා පෙළගැස්වීමට පසුබට නොවන බවටද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Author

Leave a Reply

Related Posts