හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී පහර දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය, නීතිය බලාත්මක කරන බලධාරීන්ට පාලනයකින් තොරව බලය පැවරීමේ ආදීනව නැවත වරක් පෙන්නුම් කරන්නක් බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ බලතල ප්රමාණවත් නිරීක්ෂණයකට සහ සීමාවන්ට යටත් කළ යුත්තේ මන්දැයි මෙම සිදුවීමෙන් මනාව පෙන්නුම් කරන බවයි.
එමෙන්ම, අධික බලයක් සහ අවම පාලනයක් පැවතීම හේතුවෙන් වදහිංසනය සහ දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට හේතු වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
“හෝමාගම, අත්අඩංගුවේ පසුවූ තැනැත්තෙකුගේ මරණය, නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට අසීමිත බලතල ලබාදීමේ ආදීනව පිළිබඳව නැවත වරක් අපට මතක් කර දෙයි. අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ බලතල ප්රමාණවත් නිරීක්ෂණයකට සහ පාලනයකට යටත් විය යුත්තේ එබැවිනි. අධික බලතල සහ ප්රමාණවත් නොවන පාලනය හේතුවෙන් වධහිංසා පැමිණවීම සහ දඬුවම් නොලැබී බේරී යාමේ සංස්කෘතිය දිගින් දිගටම පවතිනු ඇත.”

