නාමල්ගේ ඇප ඉල්ලීමට අවසර නෑ… නොවැම්බර් 19 තෙක් රිමාන්ඩ්

එයාර් බස් ගනුදෙනුවට අදාළව අධිචෝදනා ඉදිරිපත් කිරීම හේතුවෙන් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සලකා බැලීමට අවසර ලබාදීම විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීමට අවසර ලබාදීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර නාමල් රාජපක්ෂ නොවැම්බර් මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට ඔහුව නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් කිසිදු පාර්ශ්වයක් අධිකරණයේ පෙනී සිට නොමැති අතර ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියද ත්‍රිපුද්ගල මහාධිකරණය එයට අවසර ලබා දී නොමැත.

මෙම නඩුවේ චූදිතයන් ලෙස නාමල් රාජපක්ෂ, ශමීන්ද්‍ර රාජපක්ෂ, බිස් සොලුෂන්ස් සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය නම් කර ඇත. නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටි නමුත් අනෙකුත් චූදිතයන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිට නොමැත.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් මෙම නඩු වාර්තා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී නිසි පරිදි ඉදිරිපත් කර නොමැති බව විනිසුරුවරුන් විසින් පෙන්වා දී ඇත. ඒ අනුව, මීළඟ නඩු වාරයේදී එම වාර්තා නිසි පරිදි ඉදිරිපත් කරන ලෙසත් රෙජිස්ට්‍රාර්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා නොතීසි නිකුත් කර ඇත. මෙම නඩුවට අදාළව අනෙකුත් පාර්ශ්වයන්ට ද නොතීසි නිකුත් කර ඇති අතර නඩුව යළි නොවැම්බර් මස 19 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts