‘ගෆුර් මාමා’ ට බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවමක්

පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස්වත්තේ නීතිවිරෝධී ලෙස ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම, ගිනි අවියක්, ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය රැස්කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු වූ මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆුර් මාමා’ හට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (28) බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මහාධිකරණ විනිසුරුවරුන් වන ලාල් රණසිංහ බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විතය.

විනිසුරු මඬුල්ල ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ 1, 2, 3, සහ 6, 7 යන චෝදනාවන් පහටම වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව එම චෝදනාවලට මුළු එකතුවක් ලෙස වසර 60ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත. අනතුරුව විනිසුරු මඬුල්ල, එම සියලු සිරදඬුවම් එකවර ගෙවී යන අයුරින් වසර 12ක කාලයක් තුළ ක්‍රියාත්මක වන ලෙස නියෝග කර ඇති අතර, මේ වන විට විත්තිකරු රඳවා තබාගෙන සිටි සහ සිරදඬුවම් විඳි වසර හතහාමාරක කාලය එකී වසර 12ක සිරදඬුවම් කාලයෙන් අඩු කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර මාලාව සිදුවීමටපෙර, 2018 ඔක්තෝබර් 01 වන දින සිට 2019 ජනවාරි 16 වන දින දක්වා කාලය තුළ වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ප්‍රදේශයේදී ෂැංග්‍රිලා සහ කටුවාපිටිය බෝම්බකරුවන් වන සහරාන් හෂීම් සහ මොහොමඩ් හස්තූන් සමඟ එක්ව මෙම ත්‍රස්ත පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇති බව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ. එහිදී ලැක්ටෝස්වත්තේ තිබී යූරියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ඇතුළු විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. තවද එහිදී ඩෙටනේටර් 99ක්, සජීවී උණ්ඩ 12ක්, පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන නයිට්‍රික් ඇසිඩ් සහ යූරියා තොගයක්, තුවක්කුවක්, සජීවී වෙඩි උණ්ඩ 12ක් සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලැක්ටෝස්වත්ත ඉඩමේ හිමිකරු වන පළමු විත්තිකරු වන අබු හනීපා මොහොමඩ් මුෆීස් හෙවත් අබු දහිදා හට පාස්කු චුදිතයන්ට පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම සඳහා ඉඩම බදු දීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇත.

මේ අතර, මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන සාජිත් මවුලවි ද වරද පිළිගැනීමට සූදානම් බව අද දින අධිකරණයට දන්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා හෙට (29) උදෑසන 7.45ට නැවත අධිකරණයට ඉදිරිපත් වන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කර තිබේ.

Image:gettyimages

Author

Leave a Reply

Related Posts