Breaking : කාවන්තිස්ස ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්! රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වුවහොත් ඇපයේ වාසිය සැකකරුවන්ට!

කාවන්තිස්ස ඇතාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා.

මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය විසින් අදාළ නියෝගය අද විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අත්අඩංගුවේ පසුවන මෙම සැකකරුවන් සන්තකයේ තිබී වනජීවී නිලධාරීන් භාරයට ගත් තුවක්කු සහ පතුරම්, කාවන්තිස්ස ඇතාගේ ශරීරයේ තිබූ තුවාල සමඟ සැසඳෙන ආකාරය පිළිබඳ විශේෂඥ මතය ඇතුළත් රස පරීක්ෂක වාර්තාවක් ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට නියෝග කළා.

යම් හෙයකින් එම රස පරීක්ෂක වාර්තාව නියමිත දිනට අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඇප සම්බන්ධයෙන් සලකා බැලීමේදී එම තත්ත්වයේ වාසිය සැකකරුවන් වෙත ලබාදෙන බවද මහේස්ත්‍රාත්වරිය එහිදී අවධාරණය කළා.

මීට අමතරව තුවාල ලබා සිටි කාවන්තිස්ස ඇතා වෙනුවෙන් ලබාදුන් ප්‍රතිකාර සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළා.

එම ලබාදුන් ප්‍රතිකාර හේතුවෙන් සත්ත්වයාට යම් හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවද විශේෂඥ මතය සහිත වෙනම වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වනජීවී අංශ වෙත නියම කළා.

සිද්ධියට අදාළ වැඩිදුර නඩු කටයුතු ලබන නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Author

Leave a Reply

Related Posts