දැරියන් හයක් දූෂණය කළාට අච්චු ලැබූ පසුත් උසාවියේදී වැදුම් ලබමින්- ඕස්ට්‍රේලියානුවන්ව මවිත කළ- නාඔටුන්නේ විජිත!

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෞද්ධ විහාරස්ථානයකට පැමිණි වයස අවුරුදු 4ත් 12ත් අතර දැරියන් හයදෙනෙකු ලිංගිකව අපයෝජනය කිරීමේ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ, එරට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවේ ප්‍රකට ආගමික නායකයෙකු වන නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13යි මාස දෙකක සිරදඬුවමක් නියම කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ County Court අධිකරණයේ විනිසුරු පර්දීප් තිවානා (Pardeep Tiwana) විසින් ඔක්තෝබර් 8 වැනි බ්‍රහස්පතින්දා මෙම දඬුවම නියම කර තිබේ.

දැනට 71 හැවිරිදි විජිත හිමියන්ට නියම කළ සම්පූර්ණ සිරදඬුවම වසර 13යි මාස දෙකක් වන අතර, සිරදඬුවමේ ඉතිරි කාලය ගත නොකර කොන්දේසි සහිතව නිදහස් වීම සඳහා සලකා බැලීමට පෙර අවම වශයෙන් වසර 9යි මාස හතරක සිරදඬුවමක් විඳීමට සිදුවේ. එම අවම කාලය අවසන් වූ පමණින් නිදහස ස්වයංක්‍රීයව හිමි නොවේ.

1994 සිට 2002 දක්වා වසර අටක පමණ කාලයක් මෙල්බර්න් නුවර ස්ප්‍රිංවේල් (Springvale) සහ කීස්බරෝ (Keysborough) ප්‍රදේශවල පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේදී මෙම අපරාධ සිදුව ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇත.

විජිත හිමියන් සිය ආගමික නායකත්වය හේතුවෙන් දෙමාපියන් සහ දරුවන් අතර ගොඩනඟාගෙන තිබූ විශ්වාසය අපයෝජනය කරමින් මෙම අපරාධ සිදු කර ඇති බව විනිසුරුවරයා අවධාරණය කර තිබේ.

‘දරුවන් ආරක්ෂිත විය යුතු පූජනීය ස්ථානයකදී ඔබ ඔවුන්ගේ ළමා කාලය උදුරා ගත්තා’

විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරු පර්දීප් තිවානා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව අතර ඉහළ ගෞරවයක් දිනාගෙන සිටි විජිත හිමියන්ගේ චරිතයේ අඳුරු සහ පීඩාකාරී පැතිකඩක් පැවති බවය.

අහිංසක දැරියන් තම ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීම වෙනුවෙන් ගොදුරු කරගත් බව විනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ.

දරුවන් බුදුදහම ඉගෙනීමට සහ ආගමික කටයුතුවල නිරත වීමට පැමිණි, ඔවුන්ට ආරක්ෂාව තිබිය යුතු ස්ථානයකදී ඔවුන්ගේ නිර්දෝෂී ළමා කාලය අහිමි කළ බවත් විනිසුරුවරයා විත්තිකරුට පෙන්වා දී තිබේ.

දෙමාපියන් තම දරුවන් විජිත හිමියන් සමඟ තනිව රැඳී සිටීම ගැන කිසිදු සැකයක් නොකළ බවද අධිකරණය පෙන්වා දී ඇත. එවැනි විශ්වාසයක් ඉතාමත් බරපතළ ආකාරයෙන් පාවාදීම මෙම අපරාධවල සුවිශේෂී ලක්ෂණයක් බව විනිසුරුවරයා සඳහන් කර තිබේ.

ඔස්ට්‍රේලියානු පුවත් සේවය වන Australian Associated Press (AAP) වාර්තාව අනුව, බලය සහ අධිකාරිය ඇති පුද්ගලයන්ගෙන් බොහෝදෙනෙකු සැනසීම සහ මඟපෙන්වීම අපේක්ෂා කරන නමුත් එවැනි විශ්වාසයක් බිඳ දැමූ විට සැලකිය යුතු සිරදඬුවමක් නියම කිරීම අවශ්‍ය බවද විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

විහාරස්ථානයට පැමිණි දැරියන් අපයෝජනය කළ ආකාරය

නඩු විභාගයේදී හෙළිවූ තොරතුරු අනුව, ධම්ම සරණ විහාරස්ථානයට සිය දෙමාපියන් සමඟ පැමිණි දැරියන් විජිත හිමියන් විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් තමන්ගේ ආවාස කාමරය වෙත කැඳවාගෙන ගොස් තිබේ.

දැරියන්ට රසකැවිලි, සෙල්ලම් බඩු සහ පොත් ලබාදෙන බව පවසමින් ඔවුන් තමන් වෙත ගෙන්වාගත් අවස්ථා පිළිබඳවද නඩු විභාගයේදී සාක්ෂි ඉදිරිපත් විය.

එම අපයෝජන ඇතැම්විට සිදුව තිබුණේ දැරියන්ගේ දෙමාපියන් විහාරස්ථානයේ වෙනත් කාමරවල ආගමික කටයුතු හෝ ස්වේච්ඡා සේවා කටයුතුවල නිරතව සිටියදීය.

විහාරස්ථානයේ ආවාස කාමරයට අමතරව බුදු මැදුර ආශ්‍රිත ස්ථානවල සහ ඉරිදා දහම් පාසලේදීද අපයෝජන සිදුවූ බව අධිකරණයේදී හෙළි වී තිබේ.

විජිත හිමියන් ඇතැම් අවස්ථාවල දැරියන්ට තමන් සිදුකළ දේ පිළිබඳව වෙනත් කිසිවෙකුට නොකියන ලෙස දැනුම් දී තිබූ බවත්, එක් දැරියකට අපයෝජනය කිරීමෙන් අනතුරුව සමාව ඉල්ලා ඇති බවත් පැමිණිල්ලේ නීතිඥ ෆියෝනා මාටින් (Fiona Martin) නඩු විභාගයේදී ප්‍රකාශ කර තිබිණි.

අධිකරණ වාර්තාවලට අනුව වින්දිතයන් අතර වයස අවුරුදු හතරක සිට දොළහක වයස් කාණ්ඩයට අයත් දැරියන් සිට ඇති අතර, ඇතැම් දැරියන් වරක් පමණක් නොව නැවත නැවතත් අපයෝජනයට ලක්ව තිබේ.

මෙම කරුණු ඉදිරිපත් වී ඇත්තේ වින්දිතයන්ගේ සාක්ෂි සහ පැමිණිල්ලේ නීතිඥයන්ගේ කරුණු දැක්වීම් ඔස්සේය. අනතුරුව ජූරි සභාව විසින් විජිත හිමියන්ට එරෙහි ලිංගික අපරාධ චෝදනා 17ක් සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කර තිබේ.

‘ඔහු මගේ ශරීරය පමණක් නොව මගේ ආගම පිළිබඳ විශ්වාසයත් විනාශ කළා’

මෙම නඩුවේ විශේෂත්වයක් වන්නේ අපරාධ සිදුවී දශක දෙකකට අධික කාලයක් ගතවීමෙන් පසුවද වින්දිත කාන්තාවන්ට ඒවායේ මානසික බලපෑමෙන් මිදීමට නොහැකි වී තිබීමය.

දැරියන්ව සිටියදී අපයෝජනයට ලක්වූ ඔවුන් මේ වනවිට තිස් හැවිරිදි වියේ පසුවන කාන්තාවන්ය.

අධිකරණයට ඉදිරිපත් කළ වින්දිත බලපෑම් ප්‍රකාශවලදී ඔවුන් විස්තර කර තිබුණේ එම අපරාධ හේතුවෙන් තමන්ගේ පෞද්ගලික සබඳතා, රැකියා ජීවිතය, සමාජ සබඳතා සහ වෙනත් පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තැබීමේ හැකියාවට ඇතිවූ දිගුකාලීන බලපෑම්ය.

එක් කාන්තාවක් පවසා තිබුණේ තමන්ගේ නව හැවිරිදි ළමා වියේ අහිමි වූ ඇතැම් කොටස් කිසිදිනක නැවත ලබාගත නොහැකි බවය.

තවත් වින්දිත කාන්තාවක් තමන්ට සිදුවූ අපරාධයෙන් ශාරීරික හානියකට වඩා වැඩි දෙයක් සිදුවූ බව පැහැදිලි කරමින්, උපතින්ම තමන් සමඟ පැවති ආගමික විශ්වාසයද ඒ හේතුවෙන් බිඳ වැටුණු බව පවසා තිබේ.

විශේෂයෙන් එක් කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ භික්ෂූන්ගේ කහ පැහැති සිවුරු දැකීම හෝ පිරිත් සජ්ඣායනා ඇසීම පවා තමන්ට දැඩි මානසික පීඩාවක් ඇති කරන බවයි.

අපරාධ පිළිබඳ හෙළිදරව් කිරීම හේතුවෙන් තමන් සහ තම පවුල් බොරුකාරයන් ලෙස හෝ විහාරස්ථානය විනාශ කරන්නට උත්සාහ කරන පුද්ගලයන් ලෙස සමාජයෙන් හංවඩු ගැසෙනු ඇතැයි වින්දිතයන් බියෙන් සිටින බවද විනිසුරුවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් සියලු වින්දිතයන් සත්‍යවාදී, බුද්ධිමත් සහ පැහැදිලිව අදහස් ප්‍රකාශ කළ හැකි පුද්ගලයන් ලෙස විනිසුරුවරයා හඳුන්වා තිබේ.

දඬුවම නියම කළ පසුවත් ආධාරකරුවන් භික්ෂුවට වැඳ නමස්කාර කරලා

මෙම නඩුවේ දඬුවම් නියම කිරීම සිදුවූ අවස්ථාවේ අධිකරණය තුළ දක්නට ලැබුණු සිදුවීමක්ද ඔස්ට්‍රේලියානු මාධ්‍යවල විශේෂ අවධානයට ලක්ව තිබේ.

ඔක්තෝබර් 8 වැනිදා අධිකරණයට පැමිණි විජිත හිමියන් සිය සුපුරුදු සිවුර වෙනුවට අළු පැහැති බන්ධනාගාර ඇඳුමකින් සැරසී සිට ඇත.

දඬුවම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ලබාදුන් කෙටි විවේකයකදී විජිත හිමියන් තමන්ට සහාය දැක්වීමට පැමිණ සිටි පිරිස දෙස බලා සිනාසෙමින් අත වනා තිබේ.

ඔහුගේ ආධාරකරුවන් අතර සිටි ඇතැම් පුද්ගලයන් විත්තිකරු රඳවා සිටි ස්ථානය අසලට පැමිණ ඔහු වෙත වැඳ නමස්කාර කර තිබීම විශේෂ සිදුවීමකි.

මේ සියල්ල සිදුව ඇත්තේ විජිත හිමියන් විසින් ළමා වියේදී අපයෝජනයට ලක්කරන ලද වින්දිත කාන්තාවන් අධිකරණය තුළ සිටියදීය.

එම සිදුවීම් දෙස කෝපයෙන් බලා සිටි එක් වින්දිත කාන්තාවක් මෙය හාස්‍යයට කරුණක් බව ප්‍රකාශ කර තිබේ.

AAP වාර්තාවට අනුව තවත් කාන්තාවක් මෙම ආධාරකරුවන්ගේ හැසිරීම දැඩි විවේචනයට ලක්කර ඇත.

අනතුරුව අධිකරණ ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී විජිත හිමියන් ආධාරකරුවන් සමඟ කතාබහ කිරීම නවතා තිබේ.

විනිසුරු තිවානා සිය දඬුවම් නියෝගයේදී පෙන්වා දී ඇත්තේ විජිත හිමියන් තවමත් තමන්ගේ අපරාධ පිළිබඳ වගකීම භාර නොගන්නා අතර පසුතැවිල්ලක්ද ප්‍රකාශ කර නොමැති බවය.

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් ‘මේ මිනිසා කළ අපරාධ ගැන අසන්න ලැබූ පසුත් ඔබ ඔහුට නමස්කාර කරන්නේ කොහොමද?‘ යනුවෙන් අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙන කාන්තාවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරන අතරතුර එම කාන්තාවන් පිළිතුරු නොදී පලායන අන්දමද දක්නට ලැබී තිබේ.

2005දී පොලිසියට පැමිණිලි කර තිබුණත් 2023දී චෝදනා ගොනු කෙරුණු හැටි

මෙම අපරාධ පිළිබඳ මුල් පැමිණිලි ලැබී තිබුණේ නඩුව ආරම්භ වීමට වසර ගණනාවකට පෙර බවද අධිකරණයේදී හෙළිවී තිබේ.

2005 වසරේදී එක් වින්දිත දැරියක් තමන්ට සිදුවූ අපයෝජනය පිළිබඳ පාසල් උපදේශකවරයෙකුට දැනුම් දී තිබිණි. එම උපදේශකවරයා පොලිසියට ඒ පිළිබඳව දැනුම් දී තිබුණද, දැරිය එම අවස්ථාවේදී විමර්ශනයක් ඉදිරියට ගෙනයාමට කැමැත්තක් දක්වා නොතිබූ බව පැමිණිල්ල අධිකරණයට දැනුම් දී ඇත.

2021 වසරේ Crime Stoppers සේවාවට ලැබුණු තොරතුරක් නව විමර්ශනය ආරම්භ වීමට හේතුවී තිබේ.

ඉන් අනතුරුව 2022දී අදාළ කාන්තාව පොලිසියට විධිමත් ප්‍රකාශයක් ලබාදී ඇත.

2023 අගෝස්තු මාසයේදී වික්ටෝරියා පොලිසියේ ලිංගික අපරාධ විමර්ශන අංශය විජිත හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කළ අතර, අගෝස්තු 18 වැනිදා ඔහු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එවකට විජිත හිමියන්ට එරෙහිව දරුවන් සම්බන්ධ ලිංගික අපරාධ චෝදනා 13ක් ගොනුකර තිබූ අතර, අධිකරණය විසින් ඔහු ඇප මත මුදාහැර තිබුණි.

පසුව විමර්ශන හා නඩු කටයුතුවලදී තවත් වින්දිතයන්ගේ සාක්ෂි ඉදිරිපත් වීමත් සමඟ චෝදනා සංඛ්‍යාව වැඩිවිය.

2025 ඔක්තෝබර් මාසයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ County Court අධිකරණයේ ජූරි සභාවක් හමුවේ විජිත හිමියන්ට එරෙහි නඩු විභාගය පැවැත්විණි.

ඒ වනවිට ඔහුට එරෙහිව චෝදනා 19ක් ඉදිරිපත්ව තිබිණි. ඔක්තෝබර් 30 වැනිදා ජූරි සභාව විසින් චෝදනා බහුතරයක් සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට තීරණය කළ අතර, අවසානයේ චෝදනා 17කට වරදකරු කර තවත් චෝදනා දෙකකින් නිදොස් කර තිබේ.

නාඔටුන්නේ විජිත හිමි කවුද?

නාඔටුන්නේ විජිත හිමියන් ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු 15දී පැවිදි දිවියට ඇතුළත් වූ භික්ෂුවකි.

උන්වහන්සේ පසුව විදේශීය ධර්මදූත කටයුතුවලට සම්බන්ධ වී ඇති අතර, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර බෞද්ධ විහාරස්ථානයක වසර හතක පමණ කාලයක් කටයුතු කර ඇත.

එම කාලය තුළ ස්වීඩන පුරවැසිභාවයද ලබාගෙන තිබූ බව ABC වාර්තාවේ සඳහන් වේ.

1993 වසරේදී පමණ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවේ ආරාධනයකට අනුව වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණි විජිත හිමියන්, ස්ප්‍රිංවේල් ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයේ ආගමික කටයුතු භාරගෙන තිබේ.

එම විහාරස්ථානයේ මීට පෙර විහාරාධිපතිත්වය දරා තිබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්මදේශකයෙකු වූ අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ය.

විජිත හිමියන් එහි පැමිණීමෙන් පසු විහාරස්ථානයේ කටයුතු පුළුල් වී ඇති අතර, 1999දී වත්මන් විහාර භූමිය සඳහා දේපළක් ලබාගෙන, 2001දී කීස්බරෝ ප්‍රදේශයේ නව විහාරස්ථානයට මාරුවී තිබේ.

ධම්ම සරණ විහාරස්ථානය ආගමික කටයුතු පමණක් නොව ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය සහ සිංහල භාෂා අධ්‍යාපනය ලබාදුන් මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය.

විහාරස්ථානය පිළිබඳ පැරණි නිල තොරතුරුවල දැක්වෙන්නේ එහි ඉරිදා පාසලට දරුවන් තුන්සියයකට වැඩි පිරිසක් සහභාගී වූ බවය. විජිත හිමියන් එම අධ්‍යාපන කටයුතුවලද ප්‍රධාන භූමිකාවක් ඉටුකර තිබේ.

2003 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් විජිත හිමියන්ගේ විදේශ ධර්මදූත සේවාව ඇගයීමට ලක්කර ගෞරව නාමයක් පිරිනමා ඇත.

2011 ජනවාරි 15 වැනිදා රාමඤ්ඤ මහා නිකායේ එවකට මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර හිමියන් විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියද විජිත හිමියන්ට පිරිනමා තිබේ.

සිරදඬුවමෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ හැකියාව

අධිකරණයේදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වන්නේ සිරදඬුවම අවසන් වීමෙන් පසු විජිත හිමියන් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ හැකියාවක් පැවතීමය.

විජිත හිමියන් ස්වීඩන පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වන අතර, පිටුවහල් කරනු ලැබුවහොත් ස්වීඩනය වෙත යෑමට තමන් කැමැත්තෙන් සිටින බව අධිකරණයට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, පිටුවහල් කිරීම පිළිබඳ අවසාන පරිපාලන තීරණයක් ගෙන ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

විජිත හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද නීතිඥයන් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කර තිබේ. ඔහු වයස්ගතව සිටින බවත්, ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්ව කිහිපයකින් පීඩා විඳින බවත් විත්තියේ නීතිඥයන් පෙන්වා දී ඇත.

එම කරුණු සලකා බැලූ නමුත්, සිදුකර ඇති අපරාධවල බරපතළ ස්වභාවය සහ වින්දිතයන්ට සිදුවූ හානිය හමුවේ දීර්ඝ සිරදඬුවමක් නියම කිරීමට විනිසුරුවරයා පියවර ගෙන තිබේ.

AAP අනුව දඬුවම් නියම කරන විටත් විජිත හිමියන් දින 343ක් පමණ දඬුවමට පෙර රක්ෂිත භාරයේ ගතකර තිබිණි.

ආගමික නායකත්වය, විශ්වාසය සහ දරුවන්ගේ ආරක්ෂාව

මෙම අධිකරණ තීන්දුවේදී විනිසුරුවරයා විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ විජිත හිමියන් භික්ෂුවක වීම හේතුවෙන් දරුවන්ගේ දෙමාපියන් තුළ පැවති විශ්වාසය අපරාධ සිදුකිරීමට යොදාගෙන තිබීමයි.

දැරියන් විහාරස්ථානයට පැමිණ තිබුණේ ආගමික අධ්‍යාපනය ලබාගැනීමට සහ ආගමික වතාවත්වලට සහභාගී වීමටය. එවැනි ස්ථානයක ඔවුන්ට ආරක්ෂාව සැලසිය යුතු පුද්ගලයා විසින්ම ඔවුන් අපයෝජනයට ලක්කිරීම මෙම සිද්ධියේ මූලික කාරණයකි.

අධිකරණයේදී විජිත හිමියන් වරද පිළිනොගත් අතර, ඔහුගේ නීතිඥයන් පැමිණිලිකාරියන්ගේ මතකය සහ සාක්ෂිවල විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් චෝදනා ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජූරි සභාව විසින් වින්දිතයන්ගේ සාක්ෂි සලකා බැලීමෙන් පසු චෝදනා 17කට ඔහු වරදකරු බව තීරණය කර තිබේ.

විජිත හිමියන්ට දඬුවම් නියම කරමින් විනිසුරු තිවානා අවධාරණය කර තිබුණේ ආගමික නායකයෙකු ලෙස ඔහුට හිමිව තිබූ බලය හා ගෞරවය මත ඇතිවූ විශ්වාසය ඉතා බරපතළ ලෙස පාවාදී ඇති බවයි.

විජිත හිමියන් වරදකරු බවට තීරණය කර වසර 13යි මාස දෙකක සිරදඬුවමක් නියම කිරීමෙන් මේ වනවිට අපරාධ නඩුවේ ප්‍රධාන අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් අදියරට පැමිණ තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading