මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීමට භාවිත කරන සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්‍රය ක්‍රියාත්මක කළ නොහැකි වීම හේතුවෙන් රෝගීන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ආරම්භ කිරීමට අවශ්‍ය පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනාවරණය කර තිබේ.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ඔක්තෝබර් 8 වැනිදා නිකුත් කළ ප්‍රකාශය අනුව, රෝහලේ තිබූ පැරණි යන්ත්‍රය වෙනුවට ස්ථාපනය කළ නව යන්ත්‍රයද තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් රෝගී ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කළ නොහැකි වී ඇත.
නව යන්ත්‍රයේ මෘදුකාංගය, රෝහලේ පවතින විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීමේ මෘදුකාංග පද්ධතිය (Treatment Planning System) සමඟ නොගැළපීම මෙම ගැටලුවට හේතු වී ඇති බව සංගමය පවසයි.
පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර සීටී සිමියුලේෂන් පරීක්ෂණය සිදුකිරීම වැදගත් පියවරකි. මෙමගින් පිළිකාව පිහිටා ඇති ස්ථානය, ප්‍රතිකාර කළ යුතු ප්‍රදේශය සහ විකිරණවලින් ආරක්ෂා කළ යුතු අවට නිරෝගී පටක පිළිබඳ තොරතුරු ලබාගෙන එක් එක් රෝගියාට ගැළපෙන ප්‍රතිකාර සැලැස්මක් සකස් කරනු ලබයි.
මෙම පරීක්ෂණ හා සැලසුම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් නව විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ යුතු රෝගීන් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටිති.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන පරිදි, රෝහලේ භාවිත කළ පැරණි සීටී සිමියුලේටර් යන්ත්‍රය අප්‍රේල් 29 වැනිදා ඉවත් කර ඇත්තේ ඒ වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපනය කිරීමේ අරමුණිනි.
එහෙත් නව යන්ත්‍රය ස්ථාපනය කර ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගැනීමට මාස හතරකට වැඩි කාලයක් ගත වී තිබේ.
ජුනි 26 වැනිදා වන විටත් සීටී සිමියුලේෂන් පරීක්ෂණ සිදුකිරීමට නොහැකිවීම හේතුවෙන් රෝගීන් 800කට වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව සංගමය අනාවරණය කර තිබිණි.
ඒ වන විට නව යන්ත්‍රය ස්ථාපනය කර තිබුණද, රෝහල් පරිපාලනය එය නිල වශයෙන් භාරගැනීම ප්‍රමාද කරමින් සිටින බවටද සංගමය චෝදනා කළේය.
මෙම ගැටලුව පිළිබඳ වහා විමර්ශනයක් සිදුකරන ලෙසත්, රෝගීන්ගේ ප්‍රතිකාර ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් එම අවස්ථාවේදී ඉල්ලීමක් කර තිබිණි.
සැප්තැම්බර් 4 වැනිදා The Daily Morning පුවත්පත වාර්තා කළේ ඒ වන විට සීටී සිමියුලේෂන් පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනයේ රෝගීන් 1,300කට වැඩි පිරිසක් සිටින බවයි.
එම පුවත්පතට තොරතුරු ලබාදුන් රෝහල් ආරංචිමාර්ග අනුව, සැපයුම්කරු විසින් ටෙන්ඩර් ක්‍රියාවලියේදී ඉදිරිපත් කළ යන්ත්‍ර මාදිලියට වෙනස් මාදිලියක යන්ත්‍රයක් සපයා ඇති බවටද ප්‍රශ්නයක් මතු වී තිබිණි.
යන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා පත්කළ භාරගැනීමේ කමිටුව ඒ පිළිබඳ ගැටලු හඳුනාගෙන ඇති අතර, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා කාරණය ටෙන්ඩර් මණ්ඩලයට නැවත යොමුකර තිබූ බවද එම වාර්තාවේ සඳහන් විය.
කෙසේ වෙතත්, නව යන්ත්‍රය සැප්තැම්බර් 7 වැනිදා රෝහල් කාර්ය මණ්ඩලයට භාරදුන් බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය නවතම ප්‍රකාශයෙන් පෙන්වා දෙයි.
එලෙස භාරදුන්නද, යන්ත්‍රයේ මෘදුකාංග සහ විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීමේ පද්ධතිය අතර පවතින නොගැළපීම නිසා ඔක්තෝබර් 8 වැනිදා වන විටත් එයින් අපේක්ෂිත සේවාව ලබාගැනීමට නොහැකි වී තිබේ. මේ වන විට රෝගීන් සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් තිබේ.
අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් සේවාව අඩාල වීමෙන් පසු තාවකාලික විකල්පයක් ලෙස රෝහලේ පෙට් ස්කෑන් (PET Scanner) යන්ත්‍රය භාවිත කරමින් ඇතැම් රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකර තිබේ.
එහෙත් එම පරීක්ෂණ සිදුකළ රෝගීන් අතරින් ප්‍රතිකාර ලබාගැනීමට හැකි වී තිබුණේ 250කට ආසන්න පිරිසකට පමණි. තවත් රෝගීන් 300කට වැඩි පිරිසක් පරීක්ෂණ සිදුකර තිබියදීත් ප්‍රතිකාර ආරම්භ වනතුරු බලා සිටි බව එම පුවත්පත වාර්තා කළේය.
සීටී සිමියුලේටර් යන්ත්‍රයක් මෙන් රෝගියා නිශ්චිත ඉරියව්වක තබාගැනීමට අවශ්‍ය අමතර උපකරණ පෙට් ස්කෑන් යන්ත්‍රයට සවිකිරීමේ සීමාවන් පවතින බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම පෙට් ස්කෑන් යන්ත්‍රය හරහා සිදුකළ හැකි පරීක්ෂණ සංඛ්‍යාවද සාමාන්‍ය සීටී සිමියුලේටර් යන්ත්‍රයක ධාරිතාවට සමාන නොවන බව සංගමය පවසයි.
විශේෂයෙන් පියයුරු පිළිකා රෝගීන්ට අවශ්‍ය ඇතැම් සීටී සිමියුලේෂන් පරීක්ෂණ පෙට් ස්කෑන් යන්ත්‍රය භාවිතයෙන් සිදුකිරීමට නොහැකි වී ඇති බවද සංගමයේ නවතම ප්‍රකාශයේ සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් අපේක්ෂා රෝහලේ ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්‍ර මගින් දෛනිකව විකිරණ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව සංගමය චෝදනා කරයි.
සංගමයේ සංඛ්‍යාලේඛන අනුව පසුගිය අප්‍රේල් මාසය වන විට රෝහලේ ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර හතරක් මගින් දෛනිකව රෝගීන් 300කට ආසන්න පිරිසකට ප්‍රතිකාර ලබාදී තිබේ.
එහෙත් මේ වන විට එම සංඛ්‍යාව දිනකට රෝගීන් 200ක් පමණ දක්වා පහත වැටී ඇති බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.
එය දෛනික ප්‍රතිකාර සංඛ්‍යාවේ තුනෙන් එකක පමණ අඩුවීමකි.
ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් කෝටි 60ත් 80ත් අතර මුදලක් වැයවන බවද සංගමය සඳහන් කරයි.
මෙතරම් විශාල මුදලක් වැයකර මිලදී ගන්නා යන්ත්‍ර නියමිත වගකීම් හා නඩත්තු කාලය තුළ උපරිම ධාරිතාවයෙන් භාවිත කිරීමට නොහැකි වීමෙන් මහජන මුදල්වලින් කළ ආයෝජනයේ ප්‍රතිලාභ අඩුවන බව සංගමය පෙන්වා දෙයි.
පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගන්න ලක්ෂ 20ක් දක්වා වැයවෙයි
අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් රෝගීන් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන තත්ත්වයක්ද උද්ගතව තිබේ.
එහෙත් එවැනි විකිරණ ප්‍රතිකාරයක් පෞද්ගලික රෝහලකින් ලබාගැනීමට රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැයවිය හැකි බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම පිරිවැය ප්‍රතිකාර වර්ගය සහ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවේදය අනුව වෙනස් විය හැකිය.
