මහජන සාමය රකින්න හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්!

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව කථානායක අයි.ඩබ්ලිව්.එම්. ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදී, ජනාධිපතිවරයා වෙතින් තමන් වෙත ලැබුණු නිල සන්දේශය ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සභාවට දැනුම් දුන්නා. මෙලෙස සිවිල් කටයුතු සදහා හමුදාව කැදවීමේ ගැසට් නිකුත් කිරීම සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන් විසින් සිදුකරන ක්‍රියාවක් වෙනවා. ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයට ලක් වූ මෙම ක්‍රියාව වත්මන් ජනාධිපතිවරයා විසින්ද දිගින් දිගටම සිදු කිරීම විශේෂත්වයක්.

එම සන්දේශය මඟින් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ, 40 වැනි අධිකාරය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

ඒ අනුව අදාළ ආඥාවේ පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර තිබෙනවා.

උක්ත මහජන ආරක්ෂක ආඥා පනතේ 2(1) වගන්තිය සමඟ කියවිය යුතු 2(3) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම නියෝගය පාර්ලිමේන්තුව වෙත මෙලෙස නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading