සයින්දමරුදු පිපිරීම ගැන සැකයි! සහරාන්ගේ රියැදුරු ගපූර් මාමා පාස්කු නඩුවේදී දුන් විත්තිවාචකය මෙන්න!

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් අනතුරුව සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම පිළිබඳව තමන්ට බලවත් සැකයක් පවතින බවත් එම පිපිරීමෙන් තමන්ගේ දියණිය, බෑණා, මුණුබුරන්, බෑණාගේ මවුපියන් සහ නංගී ඇතුළු ඥාතීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් පාස්කු මහා නඩුවේ දෙවැනි විත්තිකරු වන සහරාන්ගේ රියැදුරු ලෙස කටයුතු කළ මොහොමඩ් සරීබු ආදම් ලෙබ්බේ හෙවත් ගපූර් මාමා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් කියා තිබේ.

2019 වසරේ පාස්කු ඉරු දින මෙරට කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් පුද්ගලයින් 224 දෙනෙකුට මරු කැඳවා තවත් 584 දෙනෙකුට බරපතළ තුවාල සිදුකරමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු විත්තියේ සාක්ෂි කැඳවීම ආරම්භ කෙරිණි.

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය දිනපතා පැවැත්වෙයි.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් 63 හැවිරිදි ගපූර් මාමා නමැති විත්තිකරු (සහරාන්ගේ රියැදුරු) ප්‍රකාශ කළේ තමන් කිසිදු දිනක මරාගෙන මැරෙන කණ්ඩායමක සාමාජිකයෙකු නොවූ බවත් සියදිවි නසාගැනීමේ අදහසක් නොතිබූ බවත්ය.

ඉස්ලාම් දහමට අනුව සියදිවි නසාගැනීම හරාම් හෙවත් බරපතළ පාපකර්මයක් බව පෙන්වා දුන් සහරාන්ගේ රියැදුරු , නුවරඑළියේ පැවති අන්තවාදී ආගමික සැසියකදී තමන්ව දුටු බවට පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන අස්නියා නමැත්තිය කළ ප්‍රකාශය මුසාවක් බවත් තමන් ඊට සහභාගී නොවූ බවත් දිවුරා ප්‍රකාශ කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම නිසා තම පවුල දැඩි අර්බුද රැසකට මුහුණ දුන් බවත් නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ සිය වැඩිමහල් පුතු උසස් පෙළ විභාගයටත් බාල දියණිය සාමාන්‍ය පෙළ විභාගයටත් මේ වසරේ පෙනී සිටි බවත් ඔහු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී තමන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරියා ඌරු මස් ව්‍යංජනයක් සහිත බත් වේලක් ලබාදුන් බවත් එය ප්‍රතික්ෂේප කළ විට ආහාරයට ගන්නා ලෙස බලකිරීම නිසා අකමැත්තෙන් වුවද එය අනුභව කිරීමට සිදුවූ බවත් ඔහු හඬමින් අධිකරණයට ප්‍රකාශ කළේය.

ආහාර ගැනීමෙන් පසු එම කෑම වේල රසවත්දැයි පොලිස් නිලධාරියා විමසූ බවත් අකැප ආහාරයක් බලහත්කාරයෙන් කෑමට සිදුවූ පුද්ගලයෙකු එය රසවිඳින්නේ කෙසේදැයි තමන් ප්‍රශ්න කළ බවත් සහරාන්ගේ රියැදුරු කියා සිටියේය.

මෙම නඩු විභාගයේදී සහරාන්ගේ කණ්ඩායමේ සන්නද්ධ අංශ නායකයා ලෙස සැලකෙන, සංවිධානය තුළ අබු සලා නමින් හැඳින්වූ හයාතු මොහොමඩ් අහමදු මිල්හාන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු සාක්ෂි දීමට නියමිතව තිබූ අතර අබු හිදා ලෙස පෙනී සිටි ගපූර් මාමා ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුගේ සාක්ෂි විභාගය මෙලෙස සිදුවිය.

නඩුවේ හයවැනි චූදිත වන අබු තරීක් හෙවත් මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් නමැත්තා සාක්ෂි නොදී නිශ්ශබ්දව සිටීමට තීරණය කර තිබේ.

මේ අතර විත්තියේ 20 සිට 26 දක්වා නම් කර සිටින සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජෙසීම්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන් සහ මීරා සහීර් මොහොමඩ් නෆ්ලි යන විත්තිකරුවෝද විත්ති කූඩුවේ සිට සාක්ෂි ලබාදුන්හ.

නඩුවේ 24 වැනි චූදිතයා වන කුලියාපිටිය ඇතුන්ගලගොඩ ප්‍රදේශයේ පදිංචි අන්සර්ඩීන් මොහොමඩ් හිල්මි නමැත්තා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ තමන් කුඩා කල සිටම පියාගේ පොළේ වෙළෙඳාමට උදව් කරමින් ගමේ පොදු වැඩවලට සහ පල්ලියේ ආගමික කටයුතුවලට සම්බන්ධ වූ අයෙකු බවයි.

විවාහ වී දරුවන් තිදෙනෙකු සිටින තමන්, 2019 අප්‍රේල් 26 වැනි සිකුරාදා ජුම්මා යාඥාව නිමවා එමින් සිටියදී ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් තමන් සහ සිය වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.

දුම්මලසූරිය පොලිසියේ දින 3ක් රඳවාගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වාරියපොළ බන්ධනාගාරයේ දින 14ක් රඳවා තැබූ බවත්, එහිදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් තමන්ව අනුරාධපුර බන්ධනාගාරයට මාරු කළ අතර පසුව සිය සහෝදරයා නිදහස් වූ බවත් ඔහු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 6 වැනි මහලේ අඩි 6×4 ප්‍රමාණයේ කුඩා සිරකුටියක තමන් ඇතුළු පිරිසක් රඳවා සිටි බවත් ඉන් පිටතට ගැනීමට ඉඩ දුන්නේ ආහාර ගැනීමෙන් පසු අත සේදීමට සහ වැසිකිළි යෑමට පමණක් බවත් ඔහු කියා සිටියේය.

විමර්ශන සඳහා තමන් සහ අයතුල්ලා නමැත්තා ගමට රැගෙන ගිය අවස්ථාවේදී අසල පිහිටි සිය උපන් නිවසට ගොස් රෝගීව සිටි මව බැලීමට අවසර ඉල්ලා සිටියද ඊට ඉඩ නොලැබුණු බවත් තමන් බන්ධනාගාරයේ සිටියදී මව මියගිය බවත් ඔහු සංවේදීව පැවසීය.

පසුව මැගසින්, පල්ලන්සේන සහ පල්ලෙකැලේ බන්ධනාගාරවල රඳවා සිටි කාලය තුළ සිය පියා සහ සහෝදරයාද මියගිය නමුත් අවසන් කටයුතුවලට සහභාගී වීමට අවස්ථාව නොලැබුණු බව ඔහු සඳහන් කළේය.

මෙම චෝදනාවලට අසත්‍ය ලෙස පටලැවීම හේතුවෙන් තම පවුල දැඩි මානසික හා ශාරීරික පීඩාවකට ලක්වූ බවත් බිරිඳගේ හිසේ ලේ කැටියක් හිරවීම නිසා ඇයව සැත්කමකට ලක්කිරීමට සිදුවූ බවත් විත්තිකරු කියා සිටියේය.

නඩුවේ චෝදනා 23,000කට වඩා තිබුණද තමන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බවත් නඟා ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පැවසූ ඔහු, සහෝදර ජනතාවට හානි කිරීම ඉස්ලාම් දහමේ කොතැනකවත් නොකියැවෙන බැවින් පාස්කු ප්‍රහාරය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද අවධාරණය කළේය.

මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 23,270ක් යටතේ ගොනුකර ඇති මෙම නඩුව සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 1,500කට ආසන්න පිරිසක් නම් කර තිබේ.

නඩුවේ 17 වැනි විත්තිකරු මේ වන විට මියගොස් ඇත.

මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු රජයේ නීතිඥ මණ්ඩලය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් කනීල් මද්දුමගේ, රවිඳු යසස්, නිරෝෂන් සිරිවර්ධන සහ ලෝරන්ස් ඇඩම්ස් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading