කොවිඩ්-19 වසංගත සමයේදී මුස්ලිම් කොවිඩ් මෘතදේහ ආදාහනය කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගේ සිත් තුළ හටගත් දැඩි වේදනාව සහ සංවේගය තමන් ඇතුළු පක්ෂයට හොඳින් වැටහෙන බවත් එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තනිව ගත් දේශපාලනික තීරණයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එම අවස්ථාවේදී එළඹි අසීරු තීන්දු සියල්ල, එකල සිටි සෞඛ්‍ය විශේෂඥයන් ලබා දුන් විද්‍යාත්මක උපදෙස් මත පදනම්ව ගත් ඒවා බව ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේ නොමැතිව එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තනි තීන්දුවක් නොවන නමුත් එම වගකීම එතුමා භාරගන්නා බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියි.
එම වේදනාව ඇති වූ බවට තමන් දන්නා අතර එය තමන්ට තේරුම් ගැනීමට හැකි බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මින් පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකත්වයක් විසින් සෘජුව සහ ප්‍රසිද්ධියේ කතාබහට ලක් නොකළ මෙම සංවේදී කාරණය පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ තමන්ගේ ආගමික හා සංස්කෘතික රාමුවෙන් පිටත යම් දෙයක් සිදුවන විට ඇතිවන චිත්තවේගී පීඩනය තමන් අගය කරන බවයි.
එදා පැවැති ගෝලීය වසංගත තත්ත්වය හමුවේ “රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම” ප්‍රමුඛම වගකීම වූ බැවින් විශේෂඥයන්ගේ උපදෙස් මත සමහර තීන්දු අකමැත්තෙන් හෝ ගැනීමට සිදු වූ බවත් එම තීන්දු නිසා මුස්ලිම් ප්‍රජාව අතර ඇති වූ දුක සහ සංකා තමන්ට දැඩි ලෙස දැනෙන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ රාජපක්ෂවරුන් කිසිවිටෙකත් ජාතිවාදී දේශපාලනයක නිරත නොවූ බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, පක්ෂය කෙරෙහි අසාධාරණ ලෙස ඇලවීමට උත්සාහ කළ “ජාතිවාදී” මුද්‍රාව ඉවත් කරමින් ඉදිරියේදී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලුම ආගමික හා ජාතික සංස්කෘතීන් ආරක්ෂා වන නවීකරණය වූ දේශපාලන වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව වැඩිදුරටත් කියා සිටියේය.
