මහර බන්ධනාගාරයේ හදිසියේ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට උත්සාහ කරනවා වෙනුවට “උඹලා මරාගනිල්ලා” යැයි කියමින් බන්ධනාගාර නිලධාරීන් එළියට පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා චෝදනා කරයි.
ගැටුම හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ විශාල දේපළ විනාශය, පැන යාමේ උත්සාහයක් ලෙස පෙන්වීමට බලධාරීන් උත්සාහ කළද, මෙයට ප්‍රධානතම හේතුව බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, අක්‍රමිකතා සහ පහසුකම් නොමැතිකම බව ඔහු පෙන්වා දෙයි.
පුද්ගලයින් 991 දෙනෙකු සඳහා පමණක් පහසුකම් ඇති මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 4447 දෙනෙකු අමානුෂික ලෙස රඳවා සිටීම මෙවැනි පිපිරීම්වලට මුලපූරන බව සඳහන් කළ ඔහු, සැබෑ ප්‍රශ්නය වසං කිරීමට බලධාරීන් තොරතුරු වසා දැමීමට උත්සාහ කරන බවට ද වැඩිදුරටත් චෝදනා කළේය.
මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සහ සමස්ත බන්ධනාගාර පද්ධතියේ පවතින බරපතල අර්බුදය පිළිබඳව නීතිඥ සේනක පෙරේරා මහතා පළ කළ සම්පූරණ අදහස් දැක්වීම පහතින්,
“දැන් මේ වෙනකොට මහර බන්ධනාගාරයේ ඊයේ ඇතිවෙච්ච ඒ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට විශාල විනාශයක් සිදුවෙලා තියෙනවා. ජීවිතයක්ද නැති වෙලා තියෙනවා. ඒ වගේම දේපළ වලටත් විශාල හානියක් වෙලා තියෙනවා. ඒ වගේම විශාල පිරිසක් බරපතල තුවාල ලබලා මේ වෙනකොට ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා.
දැන් එතකොට මේ තත්ත්වය තුළ දැන් රජය එහෙම නැත්නම් බලධාරීන් විදිහට දැන් මේ වෙනකොට ඒ පැත්තේ සියලුම තැන්වලට ඇඳිරි නීතිය දාලා තියෙනවා. ඒ වගේම දැන් මාධ්‍ය ප්‍රකාශක කියනවා අඩි පහළවක් උස තහඩුවක් කඩාගෙන පැනලා යන්න හැදුවා කියලා. ඉතින් මේ වගේ විවිධ, විවිධ කතාවල් තමයි මේ වෙලාවේ අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි මේ බන්ධනාගාරවල ඒ සැබෑ ප්‍රශ්න, සැබෑ නොසන්සුන්තාවයන්වලට හේතු ගැන කිසිවක් කියන්නේ නෑ. ඒ ගැන කියන්නේ නැතුව අනිත් සියලුම දේවල් කියමින් සිටින තත්ත්වයක් තමයි අපි දකින්නේ.
පහුගිය කාලය පුරාම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට අපි බන්ධනාගාර බලධාරීන්ට, ඒ අමාත්‍යවරුන්ට, ඒ ජනාධිපතිවරුන්ට කියා සිටියා බන්ධනාගාරවල අධික තදබදය විශාල විනාශයකට හේතුවක් කියන එක. ඒක අපි 2012 දිත් දැක්කා, 2020 දිත් දැක්කා, මීගමුවෙදිත් දැක්කා. ඊට පස්සේ තමයි දැන් මේ මහරදිත් අපි දකින්නේ. හැබැයි මේ වෙනුවෙන් කිසිදු, කිසිදු ප්‍රමාණාත්මක ප්‍රතිචාරයක් එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් රජයට කරගන්න බැරිවෙලා තියෙනවා. රජය නිතරම බෝලේ පාස් කරන එක තමයි කරන්නේ, මේක ඒ කාලේ ඒවා, නැත්නම් ඒක මේක අපේ දෙයක් නෙමෙයි කියලා. ඉතින් මේ විදිහට වගකීම් විරහිතව කටයුතු කරමින් සිටිනකොට තමයි මේ මහර බන්ධනාගාරයේ මේ සිද්ධිය ඇති වෙන්නේ.
එතකොට ඒකට දැන් මේ අවස්ථාවේදී තියෙන තත්ත්වය තමයි මේ සිද්ධියේ තොරතුරු නොදී ඉන්න එක. මේ සිද්ධියේ තියෙන කරුණු සඟවන්න උත්සාහ කරන එක. ඉතින් මං හිතන්නේ මේ ප්‍රශ්නය තව තවත් ගැඹුරට, එහෙම නැත්නම් තව තවත් ඉදිරියට යෑමක් තමයි මේ ක්‍රියාකාරිත්වය තුළින් අපි දකින්නේ. මාධ්‍යයට මේ ඇඳිරි නීතිය හින්දා එතනට යන්න බෑ. අනිත් පුද්ගලයන්ට එතනට යන්න බෑ. ඥාතීන්ට එතනට යන්න බෑ. ඉතින් මේ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම තිබුණත් අද ඒක කරගන්න බැරිවෙලා තියෙනවා.
මේ බන්ධනාගාරයේ 991 යි රඳවන්න පුළුවන් මේ මහර බන්ධනාගාරයේ. හැබැයි මේ සිද්ධිය වෙනකොට 4,447 ක් මේ බන්ධනාගාරයේ සිටිනවා. ඉතින් මේකම තමයි මේ ප්‍රශ්නවලට හේතු වෙන්නේ. ඊට අමතරව මේ බන්ධනාගාරයේ නිලධාරීන් ඉන්නවා නොයෙකුත් ජාවාරම් කරගෙන යන, රැඳවියන් සම්බන්ධ කරගෙන ජාවාරම් කරගෙන යන අය ඉන්නවා. ඉතින් මේ අය, මේ අයගේ මේ ක්‍රියාකාරිත්වයත් මේ විනාශයට, මේ ආරවුලට හේතුවෙලා තියෙනවා කියන එක තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. මොකද අනිත් අතට බන්ධනාගාරයේ මේ 4,400 ගාණකට යන්න පහසුකම් නෑ. වැසිකිළි පහසුකම් නෑ. ඒගොල්ලන්ට අනිකුත් ඖෂධ ඒ පහසුකම් නෑ. අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට ඒ වාට්ටු පහසුකම් නෑ. අනිකුත් සුබසාධන පහසුකම් නෑ. මේ 900 ගාණකට විතරයි ඒවා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ දැන් මේ වෙනකොට මේ බන්ධනාගාරයේ රැඳවියෝ තමන්ගේ ගෙදර ඥාතීන්ට කියන්නේ අපිට කෑම ගේන්න එපා කියලා. මොකද කෑම ගෙනාවොත් ඒගොල්ලන්ට වැසිකිළි යන්න වෙනවා කෑවට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඇතුළේ නියම තත්ත්වය වෙන්නේ. අනිත් පැත්තෙන් මේ රැඳවියන්ට වතුර නෑ. මේ රැඳවියන්ට ගෙදර අයට සිදුවෙලා තියෙනවා වතුර ගේන්න. ඊයේ ඔය සිද්ධිය වෙන අවස්ථාවේ ඒ රැඳවියන්ගේ මවක් ඒ බලන්න ගිහිල්ලා, ඒ මව ගෙනිල්ලා තියෙන ප්‍රධාන දෙයක් තමයි ලීටර් පහේ වතුර එකක්. මොකද ලීටර් පහක් ගෙනියන්නේ හෝදගන්න. ඒ තමන්ගේ ඒ අවශ්‍ය ඒ සේදීම් වලට වතුර නැති එකටත් මේ රැඳවියන්ගේ ඥාතීන්ට සිදුවෙලා තියෙනවා ඒකට උත්තර හොයන්න.
ඉතින් මේක තමයි මේ බන්ධනාගාරයේ සැබෑ තත්ත්වය. එතකොට මේ තත්ත්වය, එතකොට මේ ඊයේ දින එකේ ඉඳන්ම ක්‍රියාත්මක වෙලා තියෙනවා. එකේ ඉඳන්ම ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපිට ලැබෙන තොරතුරු අනුව මේක වළක්වගන්න, මේක පාලනය කරන්න සාධාරණ උත්සාහයක් ගත්තද කියන එක පිළිබඳ විශාල ප්‍රශ්නයක් අපේ ඉදිරියේ තියෙනවා. මොකද අපිට තොරතුරු එනවා, උඹලා මරාගනිල්ලා කියලා නිලධාරීන් එළියට ආවා කියලත් තොරතුරක් තියෙනවා. ඉතින් මේක එහෙම වුණා නම්, එහෙම වුණා නම් ඒක ඉතාමත් බරපතල අවාසනාවන්ත තත්ත්වයක් විදිහට තමයි අපිට තියෙන්නේ. මොකද ඇත්තටම තොරතුරු වලට අනුව ඇතුළ පාලනය කරන එක නෙමෙයි නිලධාරීන්ගේ ප්‍රධාන කාරණය වෙලා තිබුණේ, තිබිලා තියෙන්නේ. එළියේ එන ඒ ජනතාව, ඒ රැඳවියන්ගේ ඥාතීන් එක්රොක් වෙන එක, ඔවුන් ප්‍රශ්න කරන එක වළක්වගන්න තමයි ඔවුන් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා එක පැත්තකින් ඕන දෙයක් කරගනිල්ලා කියන ප්‍රතිපත්තියෙන් කටයුතු කරනවා නම්, මං හිතන්නේ අපි ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ගෙන්.
රැඳවියන් සම්බන්ධයෙන් ඔවුන්ගේ යුතුකම්, ඔවුන්ගේ ඒ කියන රැකවරණය, භාරකාරත්වය, පුනරුත්ථාපනය කියන සංකල්ප පැත්තකට දාලා වැඩකිරීමේ හැකියාවක් නෑ බන්ධනාගාර නිලධාරීන්ට. ඔවුන් කටයුතු කරන්න ඕනේ ඔවුන්ට පැවරිච්ච ඒ විෂයත් එක්ක. ඉතින් මේක තමයි සැබෑ තත්ත්වය බන්ධනාගාරයේ. ඉතින් ඇත්තටම බන්ධනාගාරයේ දැන් මේවා හරියාකාරව මේ තත්ත්වයන් සොයාබලා විසඳුම් හොයන්නේ නැතුව මං හිතන්නේ බන්ධනාගාරයට ඉදිරියට යන්න විදිහක් නෑ.
දැන් බන්ධනාගාරයේ රැඳවියන් දානකොට මේ රැඳවියන්ට රක්ෂණයක් දෙන්න කියලා අපිට කියන්න සිදුවෙලා තියෙනවා. මොකද ජීවිත රක්ෂණයක්. බන්ධනාගාරයට යනවා කියන්නේ අර මුහුදු යනවාටත් වඩා භයානක ක්‍රියාවලියක්. මුහුදු ගිහිල්ලත් ගෙදර එන්න පුළුවන්. හැබැයි බන්ධනාගාරයට ගිහිල්ලා තමන්ට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන ගෙදර එන්න පුළුවන් කියන අදහස දැන් ටිකෙන් ටික වියැකෙමින් තියෙන්නේ. මුළු බන්ධනාගාර පද්ධතියේම මේ අවුල තියෙනවා. මුළු බන්ධනාගාර පද්ධතියම පිපිරෙමින් තියෙන්නේ. අපේ මීගමුව බන්ධනාගාරයේ මේ ඇතිවෙච්ච සිද්ධියෙන් පස්සේ අපි මේ රටේ ජනතාවටත් මේ රටේ රජයටත් කියා සිටියා ඊළඟ පිපිරීම අතළඟ තියෙන්නේ, ඊට කලින් මේවට අවශ්‍ය පියවර ගන්න කියන එක අපි කියා සිටියා. නමුත් මේ වෙනකොට, මේ වෙනකොට ඒ අය එහෙම පියවරක් ගන්නවා කියලා අපිට පේන්නේ නෑ. පියවරක් ගත්තත් ඒගොල්ලෝ ගන්නේ ඒකපාර්ශ්විකව, පක්ෂපාතීව යම්කිසි පිරිසක් බේරන්න කටයුතු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි මේ රටේ ජනතාව විදිහට අපි දකින අවාසනාවන්ත තත්ත්වය.
ඉතින් වගකියයුතු අමාත්‍යවරයෙක් විදිහට, වගකියයුතු රජයක් විදිහට මෙතනදී අපි වගකීම භාරගත්තා කියලා නිකන් අර අවුරුද්දට සියලු ප්‍රශ්න ඉවරයි ආයුබෝවන් කියලා සමාව ගන්නවා වගේ කියලා හරියන්නේ නෑ. මොකද මේක මේ බන්ධනාගාර පද්ධතිය තුළ ඉන්න රැඳවියන් සැබෑවටම මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ වැඩපිළිවෙළක් ඇතුව තමයි ඒ වගවීම, ඒ වගකීම භාරගත යුත්තේ. ඉතින් ඒ නිසා අපි බලධාරීන්ට කියනවා ජනප්‍රිය වැඩ කර කර ඉන්නේ නැතුව ප්‍රශ්නය හරියට අඳුරගන්න. ප්‍රශ්නය හරියට අඳුරගෙන ඒකට උත්තර දෙන්න කියන එක අපි මේ අවස්ථාවේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේමයි මේ සිද්ධියේදී යම්කිසි නිලධාරීන් පිරිසක් තමන්ගේ රාජකාරිය නොකර හැරීමක් කරලා තියෙනවා. එතකොට ඒ අය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය පියවර ගන්න කියන එක අපි නැවත නැවතත් රජයට කියනවා. මීගමුව බන්ධනාගාරයේදී ඒ ඇතිවෙච්ච සිද්ධියේදී ඒ අර කුඩා කවුළුවෙන් වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉතාමත් ලිහිල් පිළිවෙතක් තමයි මේ බලධාරීන්, මේ අමාත්‍යංශය අනුගමනය කරනවා කියලා අපිට පේන්නේ. ඉතින් ඒ වගේ කටයුතු කරනවා නම් මම හිතන්නේ මේ නිලධාරීන් ඊට වඩා මේ රටේ තියෙන නීතිවිරෝධී දේවල් එහෙම නැත්නම් නීතියෙන් වැරදි විදිහට තියෙන දේවල් කිරීම ගැන අපිට පුදුම වෙන්න දෙයක් නෑ. මොකද අපිව බේරගන්න අහවලා ඉන්නවා කියන එක දැන් මේ වෙනකොටත් ඔවුන්ට තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් පස්සේ බැහැරව එහෙම නැත්නම් වෙනත් බන්ධනාගාරවලට අනුයුක්ත කරපු ඒ රැඳවියන්ට ඒ වධහිංසාව භය නැතුව ඒ බන්ධනාගාරවල ඒ අය ලබා දුන්නේ. ඉතින් ඒකට එහෙම රාජ්‍ය ආශිර්වාදය ඇතුව වධහිංසනය සිදුකරන්න පසුබිමක් හදනවා නම් මං හිතන්නේ රජයෙන් අපි ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. රජයේ ආයතන වලින් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා ඉතාමත් බුද්ධිමත්ව මේ ප්‍රශ්නෙට බහින්න කියන එක අපි ඉල්ලා සිටිනවා.
මොකද රැඳවියන් ඇත්තටම රැඳවියන් විශාල ගිනිගොඩක ඉන්නේ. මේ බන්ධනාගාර පද්ධතිය මේ පුපුරා යමින් තියෙන්නේ. එතකොට මේකට හරි විසඳුමක් තමයි දෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව දැන් අපිට ආරංචියක් තියෙනවා මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලත් සමහර පිරිස් සමහර හිතවතුන් කියමින් සිටිනවා. ඉතින් ඒ හින්දා මේ තමන්ගේ නොහැකියාව, තමන්ගේ නොකර හැරීම වහගන්න මේ විදිහට බිල්ලෝ පෙන්නන්න එපා කියලත් මා මේ අවස්ථාවේ කියා සිටිනවා. ඒ වගේම මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේ වගේ දේශපාලනික ජාම් බේරගන්න හදන කතාවලට රැවටෙන්න එපා කියලා මා මේ අවස්ථාවේදී කියා සිටිනවා.”
