මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි ගොඩනැගිලි රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව බලධාරීන් ප්‍රකාශ කරයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, රැඳවියන් විසින් සිදුකළ කලබලකාරී හැසිරීම් අතරතුර බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සහ එදිනම විවෘත කරන ලද නව පුනරුත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
මීට අමතරව පුනරුත්ථාපන කාර්යාල පරිශ්‍රය, ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය සහ බන්ධනාගාර රෝහලටද දැඩි හානි සිදුව ඇති බව ඔහු පැවසීය.
අලුතින් ඉදි කිරීමට යෝජිත කාර්යාල පරිශ්‍රයේ තහඩු යොදා වෙන් කර තිබූ තාප්ප කොටසකට පහර දෙමින් රැඳවියන් පිටතට පැන යාමට උත්සාහ කර ඇති අතර ප්‍රධාන දොරටුවට ද පහර දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව අද උදෑසන වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේ, ඊයේ පස්වරු 4.00 ට පමණ ආරම්භ වූ මෙම තත්ත්වය අද (02) අලුයම 5.00 දක්වා පැවැති බවත් ගිනි තැබීම් හේතුවෙන් දේපළ රැසක් විනාශ වී ඇති බවත්ය.
මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ අනෙකුත් බන්ධනාගාරවලද ආරක්ෂාව තර කර ඇති බව ඔහු පැවසීය.
මෙම නොසන්සුන්තාව හටගන්නා අවස්ථාවේදී පුද්ගලයින් 991 දෙනෙකු සඳහා පහසුකම් ඇති මහර බන්ධනාගාරය තුළ සැකකරුවන් සහ දඬුවම් ලැබූවන් ඇතුළු 4100 කට අධික රැඳවියන් පිරිසක් රඳවා සිටි බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම බන්ධනාගාරය තුළ කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව සැලවීමත් සමඟ එහි රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් ඊයේ පස්වරුවේම බන්ධනාගාර පරිශ්‍රය අසලට රැස්වීමට පටන් ගෙන තිබුණි.
පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය, කැරලි මර්දන අංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ස්ථානගත කිරීමට පියවර ගැනුණි.
එහෙත් බන්ධනාගාරය ඇතුළතින් වෙඩි තබන හඬට සමාන ශබ්ද ඇසීමත් සමඟ ඥාතීන්, යොදවා තිබූ මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට යාමට උත්සාහ කර තිබුණූ බව වාර්තා වුණි.
එම අවස්ථාවේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් මැදිහත්වී එම උත්සාහය ව්‍යර්ථ කළ අතර පසුව පිරිස බන්ධනාගාරය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු කර තිබේ.
පසුව උසස් පොලිස් නිලධාරියෙකු පැමිණ රැස්ව සිටි ඥාතීන් හමුවේ කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව, උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ වුවද එම පිරිස ආරක්ෂක අංශ විසින් බන්ධනාගාර ඉදිරිපිටින් ඉවත් කර තිබුණි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ නාවික හමුදාව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී තිබූ අතර, ගුවන් හමුදාව විසින් ආවේක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන යානයක් සහ බෙල් 412/212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබුණි.
කෙසේවෙතත් සිදුවීමෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.
තුවාල ලැබූවන් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියක් සොරකම් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.
මේ අතර, බන්ධනාගාරය අවට සාමය ආරක්ෂා කිරීම සඳහා රාගම පොලිස් බලප්‍රදේශයට අයත් කැන්දලියද්ද පාර – බටහිර (246), කැන්දලිය පාර – උතුර (246/සී) සහ දඹුව (181/ජී) යන ග්‍රාම නිලධාරී වසම්වලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය, මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බැවින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මහර බන්ධනාගාරය තුළ හදිසියේම මෙවැනි උණුසුම් තත්ත්වයක් හටගැනීමට බලපෑ ආසන්නතම හේතු සහ පසුබිම පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ද අදහස් දක්වා තිබේ.
