මරණ දඬුවම ලැබූ පූජිත් සහ හේමසිරි බන්ධනාගාරයට! ත්‍රිපුද්ගල මහාධිකරණයේ බෙදුණු තීන්දුව මෙන්න!

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය නොකර හැරීම සහ සාපරාධී ලෙස මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම යන චෝදනාවලට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර තීරණය මත මරණීය දණ්ඩනය නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අධිකරණ පරිශ්‍රයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර පැය කිහිපයක පරතරයකින් යුතුව මොවුන් දෙදෙනාට එරෙහි තීන්දු ප්‍රකාශයට පත් කෙරිණි.

2019 අප්‍රේල් 21 වන දින උදෑසන 8:45 ට පමණ මෙරට ප්‍රධාන කතෝලික දේවස්ථාන 3 ක් සහ කොළඹ පිහිටි ප්‍රධාන ගණයේ සංචාරක හෝටල් 3 ක් ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව එල්ල කරන ලදී.

ඊට අමතරව දෙහිවල පිහිටි ලැගුම්හලක සහ දෙමටගොඩ නිවසකද පිපිරීම් සිදු වූ අතර මෙම මුළු සිදුවීම් මාලාවෙන් පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 500 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ලෙස තුවාල ලැබූහ.

මෙම පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම තුළින් මහජනතාවගේ මරණ සිදු කිරීම සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නිලධාරීන් දෙදෙනාට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණි.

කෙසේ වෙතත් 2022 පෙබරවාරි 18 වන දින නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂඩීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මුල් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් විත්තිවාචක කැඳවීමකින් පවා තොරව විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළේය.

එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා නිසි බුද්ධි තොරතුරු සැපයීමට අසමත් වී ඇති පසුබිමක විත්තිකරුවන්ගේ රාජකාරි පැහැර හැරීමේ චේතනාව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව මුල් තීන්දුවේ දක්වා තිබුණි.

එම නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, 2024 නොවැම්බර් 05 වන දින මහාධිකරණ තීන්දුව බලරහිත කරමින් විත්තිවාචක කැඳවා නඩුව යළි විභාග කරන ලෙස නියෝග කළේය.

ඒ අනුව වත්මන් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නැවත විත්තිවාචික කැඳවමින් නඩු විභාගය ඉදිරියට පැවැත්වුණි.

අවසානයේ මෙම නඩුවේදී විනිසුරු මඬුල්ලෙන් බෙදුණු තීන්දුවක් ලැබුණු අතර විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර මහතා ඇතුළත් බහුතර විනිසුරුවරුන් විසින් විත්තිකරුවන්ට මරණ දණ්ඩනය නියම කරන ලදී.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරු විරාජ් වීරසූරිය මහතා ප්‍රකාශ කළ සුළුතර තීන්දුවෙන් සඳහන් වූයේ පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් නිදහස් කළ යුතු බවයි.

බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා හිටපු පොලිස්පතිවරයාට එරෙහි තීන්දුව සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 585 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වන දා සවස එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා.”

එලෙසම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කළ බහුතර විනිසුරුවරුන් පෙන්වා දුන්නේ, ඔහුට එරෙහිව තිබූ චෝදනා 855 න් චෝදනා 854 කටම ඔහු වරදකරු වන බවයි.

එහිදී විත්තිකරුට එරෙහිව නියෝගය ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරුවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා. නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ. මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.”

ඒ අනුව රාජකාරිය නොකර හැරීම සහ සාපරාධී ලෙස මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම යන චෝදනාවලට විත්තිකරුවන් වරදකරුවන් කරමින් බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මෙලෙස මරණීය දණ්ඩනය පනවන ලදී.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading