ටිකක් පරිස්සම් වෙන්න! මෝල් හිමියන්ට ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්! Blacklist කරන බවට ඇමති කියයි

රජයේ සහතික මිලට වී මිලදී නොගන්නා වෙළෙඳුන් ඉදිරියේදී පරිස්සම් විය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රධාන මෝල් හිමියන්ට අනතුරු අඟවමින් පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව පුලතිසි ශ්‍රවණාගාරයේදී ඊයේ (30) පැවති පොළොන්නරුව ගොවි හමුවේදි අදහස් දක්වමිනි.

රජය ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට එකඟ වූ ප්‍රධාන මෝල් හිමියන්ගෙන් සමහරෙකු තවමත් අඩුවට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත් එම තත්ත්වය වහාම නිවැරදි විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වී මිලදී ගැනීම සඳහා රජය මගින් පෞද්ගලික අංශයට ලබාදෙන විශේෂ සහන ණය පහසුකම් ලබාගන්නා වෙළෙඳුන් රජයේ සහතික මිලටම වී මිලදී ගත යුතු බවත් එම කොන්දේසිය කඩකරන පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන් ඉදිරියේදී අලුත් ලැයිස්තුවලින් අයින් කර ඔවුන්ට ලැබෙන අවස්ථා අහෝසි කිරීමට කටයුතු කරන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය අනුව ගොවියාට හිමි සාධාරණ කොටස මුලින්ම ලැබිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, අතරමැදියන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නැතත් අතීතයේ මෙන් ගොවියා සහ පාරිභෝගිකයා අයුක්තිසහගත ලෙස සූරාකෑමට ඉඩ නොතබන බවත් අතරමැදියන් සාධාරණ පංගුවක් පමණක් ලබාගත යුතු බවත් සඳහන් කළේය.

එමෙන්ම යල සහ මහ කන්නවලදී එකවර අස්වැන්න වෙළඳපොළට පැමිණීම පාලනය කිරීමේ අභියෝගයක් පවතින බවත් ගොවීන්ගේ දුප්පත්කම සහ ආර්ථික අපහසුතා නිසා අස්වැන්න කපාගත් සැනින්ම අඩු මිලට විකුණා දැමීමට සිදුවන බවත් ඔහු පැවසීය.

මෙයට විසඳුමක් ලෙස වී වගාවට අමතරව ආර්ථික වශයෙන් වැඩි ආදායමක් ලැබෙන බඩඉරිඟු වගාව කෙරෙහි යොමුවීමේ වැදගත්කමද ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading