ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට එරෙහිව කළ චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළහොත් ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.
රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් නිවේදකයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අසිත නිරෝෂන මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාවේ මහඇමති අපේක්ෂක ධූරය ලබාගැනීමේ අරමුණින් රජීව් අමරසූරිය මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පවත්වා දේශපාලන ඩීල් එකකට එළඹ ඇති බවටයි.
කෙසේවෙතත් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, එම ප්‍රකාශය ඇසීමෙන් තමන්ට මුලින්ම සිනහවට කරුණක් වූ බවත් මෑතකදී කිසිදු අවස්ථාවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමුවී නොමැති බවයි.
විපක්ෂ නායකවරයාගේ දුරකථන අංකය පවා තමන් ළඟ නොමැති බවත් මහජන සංසදයකදී හමුවී අතට අත දීම හැරෙන්නට කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික සාකච්ඡාවක් පවත්වා නොමැති මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම පුදුමසහගත බවත් ඔහු පැවසුවා.
එමෙන්ම මහජන මුදලින් සහ සියලු පහසුකම් ලබන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි පදනම් විරහිත මඩ ප්‍රචාර සහ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සමස්ත මහජනතාවගේ පරමාධිපත්‍යයට කරන නිගරුවක් බවද රජීව් අමරසූරිය මහතා පවසනවා.
මේ අතර අසිත නිරෝෂන මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මීට පෙර සිය නිල X ගිණුම මගින් සටහනක් තබමින් ඔහුට අභියෝගයක් එල්ල කර තිබුණා.
එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර තිබුණේ, “විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් කිරීමේ සැලැස්ම රජයට ආරක්ෂා කළ නොහැක. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ සිටගෙන එයට විරුද්ධ වීමට නීතිඥ සංගමයට අල්ලස් දුන් බවට මට චෝදනා කළේය. මොනතරම් නිර්ලජ්ජිත චෝදනාවක්ද? අසිත නිරෝෂන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මෙය නැවත කරන ලෙස මම අභියෝග කරමි” යනුවෙනි.
