එක්නැළිගොඩ නඩුවේ සාක්ෂිකරු මුරලි දැඩි ආරක්ෂාවක් මැද හෝමාගම උසාවියට එයි! සිද්ධ වුණ දේ මෙන්න

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2009 අගෝස්තු 27 වැනිදා පැහැරගෙන යාමේ සිදුවීමට අදාළව යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් හත්දෙනෙකුට එරෙහිව හෝමාගම මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (28) දින සාක්ෂි විභාගය සඳහා කැඳවීමක් සිදු කළා.

එහිදී මෙම නඩුවේ හතරවැනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් තවේන්ද්‍රන් නොහොත් “මුරලි” නැමැත්තා විවෘත අධිකරණයේදී සාක්ෂි ලබාදීම ආරම්භ කළා.

සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවමින් හෝමාගම මහාධිකරණ පරිශ්‍රයේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණා.

තමන් මීට පෙර එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ එක්ව කටයුතු කළ බවත් යුද්ධයෙන් පසුව හමුදාවට භාර වී හමුදාව සමඟ එක්ව කටයුතු කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ එහිදී අනාවරණය කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛකලනාදන් සහ ඩොක්ටර් ජයලත් ජයවර්ධන යන මහත්වරුන් මන්නාරම මඩු දේවාලයේ මංගල්‍යයකට පැමිණි අවස්ථාවක තමන් ඔවුන් සමඟ සම්බන්ධ වූ බවත් ඒ අවස්ථාවේදී සෙල්වම් අඩෛකලනාදන් මහතා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව තමන්ට හඳුන්වා දුන් බවත් ඔහු පැවසුවා.

2001 වසරෙන් පසු සාම කාලයේ පැවැති යුද විරාමය අතරතුර පටන් ගත් මෙම සම්බන්ධතාව 2004 සුනාමි ව්‍යසනය දක්වාම පවත්වාගෙන ගිය බව සාක්ෂිකරු කියා සිටියා.

තමන් හමුදාවට භාරවීමෙන් පසුව ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක කාලයක් සිටි අතර ඉන්පසු ගිරිතලේ කඳවුරට තමන්ව රැගෙන ඇවිත් මාංචු දමා රඳවා තැබූ බව සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසුවා.

ඒ අතරතුර දුරකථනයේ ශබ්ද විකාශකය ක්‍රියාත්මක කරමින් තමන් ලවා විවිධ පුද්ගලයින්ට කතා කළ බවද ඔහු සඳහන් කළා.

තමන් හමුදාවට භාරවන අවස්ථාවේ ප්‍රගීත් එක්නැලිගොඩගේ දුරකථන අංකයක් තම සාක්කුවේ තිබූ බව පැවසූ සාක්ෂිකරු, එම අංකය කාගේදැයි නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමකදී එය එක්නැලිගොඩගේ අංකය බවට ඔවුන්ට අනාවරණය වූ බවත් අධිකරණය හමුවේ කියා සිටියා.

සාක්ෂි ලබාදෙන අතරතුර චම්මිකුමාර රත්නම්, ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුම සාක්ෂිකරු විසින් අධිකරණයේදී හඳුනාගනු ලැබුවා.

එමෙන්ම 2010 වර්ෂයේ ජනවාරි මාසයේදී තමන් ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ කතා කළ බවට සාක්ෂිකරු සාක්ෂි ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදී, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට දැඩි විරෝධතාවය පළ කළා.

විශේෂයෙන්ම 2010 සිදුවීමට අදාළව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ වෙනත් නඩුකරයක් පවතින පසුබිමක එම සිදුවීමට අදාළව හෝමාගම මහාධිකරණය හමුවේ තිබෙන වෙනත් නඩුවකදී සාක්ෂි ලබාදෙන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කළා.

හෝමාගම මහාධිකරණයේ විභාග වන්නේ 2009 ඔක්තෝබර් 27 වැනිදා සිදුවූ පැහැරගැනීමට අදාළ සිදුවීම බැවින් එම සිදුවීම් මාලාවට පමණක් සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීමට විරෝධයක් නැති බවත් සාක්ෂි ආඥා පනතේ 5 වැනි වගන්තියට ප්‍රකාරව විවාදාත්මක කරුණුවලින් පිටතට ගොස් සාක්ෂි ලබාදීමට විරෝධය පළ කරන බවත් නීතිඥවරු පැවසුවා.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින්ම දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදී රජය වෙනුවෙන් රජයේ නීතිඥ වොක්ස්වෙල් පෙරේරා මහතා සාක්ෂි මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රසික බාලසූරිය මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.

ඉදිරිපත් වූ විරෝධතාව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග කළ හෝමාගම මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුර සාක්ෂි විභාගය සහ නියෝගය ප්‍රකාශ කිරීම ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා කල් තැබුවා.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading