උසස් පෙළ විභාගය වෙනස් වෙන්නේ නෑ! කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් ප්‍රමාද කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලැබුවා.

ලබන අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත පළමු සහ දෙවන වර පෙනී සිටින අපේක්ෂකයින් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පසුගිය කාලයේ ඇති වූ දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන හිඟය වැනි හදිසි තත්ත්වයන් හේතුවෙන් පාසල් පැවැත්වීමට බාධා සිදු වූ බවත්එ මඟින් නියමිත පාසල් දින ගණන සම්පූර්ණ නොවූ බැවින් විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා.

ඒ අනුව දැනට ප්‍රකාශිත විභාග කාලසටහන අවලංගු කර විභාගය මාස දෙකකින් කල් දැමීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙන්වා දුන්නේ මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 378,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඉන් ඉතා කුඩා සිසුන් පිරිසක් පමණක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම විභාගයට පෙනී සිටීමට 80%ක පාසල් පැමිණීමක් අවශ්‍ය වුවද, පෙත්සම්කාර සිසුන්ගේ පැමිණීම 7.2%, 50% සහ 53% වැනි පහළ මට්ටම්වල පවතින බව හෙළි කළ සොලිසිටර් ජෙනරාල්වරයා, නිසි ලෙස පන්තිවලට පවා සහභාගී නොවූ සිසුන් පිරිසක් කාලය මදි බව පැවසීම සාධාරණ නොවන බවත් ඔවුන් අධිකරණයට කරුණු වසන් කර ඇති බවත් අවධාරණය කළා.

විභාගය කල් දැමීමෙන් උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වන බවද රජයේ පාර්ශ්වය පෙන්වා දෙනු ලැබුවා.

පසුගිය ජූලි 16 වනදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ පෙත්සම සලකා බැලූ අතර, දෙපාර්ශ්වයේම ලිඛිත දේශන ලබාගැනීමෙන් පසුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (23) දිනට කල් තබනු ලැබුවා.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයේ ඉල්ලීමට නීතිමය පදනමක් නොමැති බව සලකා බලමින්, අදාළ පෙත්සම විභාගයට පවා නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද දින අවසන් තීන්දුව ලබා දුන්නා.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading