ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉක්මනින් අධිකරණයට යොමු කරන ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රජයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද (22) දින නැවතත් සිහි කැඳවීමේ ලිපියක් නිකුත් කර තිබේ.
මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.
එහිදී සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කිරීම සඳහා අවශ්‍ය වන රස පරීක්ෂක වාර්තා කිහිපයක් රජයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
රජයේ රස පරීක්ෂකවරයා විසින් දැනට ලබා දී ඇති වාර්තාව පමණක් මෙලෙස වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇති බවත් තවත් රස පරීක්ෂක වාර්තා කිහිපයක්ම ලැබීමට නියමිතව ඇති බවත් පොලිස් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැහැදිලි කළේය.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කර අධිකරණයට ලබා දීමට නම් මෙම රස පරීක්ෂක වාර්තා සියල්ල සම්පූර්ණයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ලැබිය යුතු බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස දන්වා රජයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාටත්, ඊට අදාළ රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබා දෙන ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයාටත් සිහි කැඳවීමේ ලිපි නිකුත් කිරීමට නියෝග කළේය.
ඒ අනුව මෙම නඩුව ලබන අගෝස්තු මස 19 වනදා නැවත කැඳවීමට නියමිතය.
