මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත් 05 වැනිදා සහ 06 වැනිදා සිදු වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර එහි ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබූ බව කියන බන්ධනාගාර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කර ඇත්තේ අදාළ නිලධාරියාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින්, ඔහු විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි.
සිද්ධියට අදාළව හඳුනා ගන්නා සියලු සැකකාර රැඳවියන් මිනීමැරුම් චෝදනා යටතේ, ගිනිඅවි අඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවද දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පවසා තිබේ.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බන්ධනාගාරයේ රඳවා සිටින “කටුවැල්ලේගම සුරේෂ්” නමැත්තාට ව්‍යායාම කිරීම සඳහා ලබා දී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින්, ඔහු බන්ධනාගාර නිලධාරියෙකුට ජීවිත තර්ජනය කිරීම මෙම නොසන්සුන්කාරී තත්ත්වයට මුල් වී ඇති බවයි.
