බලහත්කාර ශ්රමය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ආනයනය කිරීම ශ්රී ලංකාව තහනම් කර ඇති බවට මාධ්ය වාර්තා පළ වුවද ඒ සම්බන්ධයෙන් මේ දක්වා ශ්රී ලංකා රේගුවට කිසිඳු උපදෙසක් ලැබී නැති බව රේගු මාධ්ය ප්රකාශක චන්දන පුංචිහේවා නිවේදනය කරයි.
ඔහු සඳහන් කරන්නේ එම කරුණ මූලික සාකච්ඡා මට්ටමේ පවතින බව හා එම තීරණය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්යාංශයෙන් උපදෙස් ලැබෙන තෙක් රේගු දෙපාර්තමේන්තුව බලා සිටින බවයි.
එහෙත් රජයේ දිනමිණ පුවත්පත අද (ජුලි 13) වාර්තා කර ඇත්තේ බලහත්කාර ශ්රමය භාවිතා කරමින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන, කැණීම් කරන හෝ නිමකරන ලද ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම රජය විසින් වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි.
එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමති වශයෙන් ජනාධිපතිවරයා එම නියෝග නිකුත් කර ඇති බව හා ජුලි 10 දින සිට බලපැවැත්වෙන පරිදි එය ක්රියාත්මක වන බවයි.
එමෙන්ම ජාත්යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැලකිල්ලට ගනිමින් මෙම තහනමට ලක්විය යුතු නිශ්චිත භාණ්ඩ හෝ රටවල් පිළිබඳ ඇමතිවරයා විසින් ඉදිරියේදී නිවේදනය කරනු ඇති බවයි.
