චන්ද්‍රසේන මරණය! මහේස්ත්‍රාත්ගෙන් සිහිකැදවීමක්!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සැකකටයුතු මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රජයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (08)  සිහි කැඳවීමේ ලිපියක් නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.

එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කිරීම සඳහා අවශ්‍ය වන රස පරීක්ෂක වාර්තා මේ වන විටත් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති බවයි.

දැනට රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කර තිබෙන එක් වාර්තාවක් පමණක් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ලබා දී ඇති අතර  සිද්ධියට අදාළ තවත් රස පරීක්ෂක වාර්තා කිහිපයක්ම ලැබීමට ඇති බව විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණය හමුවේ කියා සිටියා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නම් මරණකරුට අදාළ සියලුම රස පරීක්ෂක වාර්තා සම්පූර්ණයෙන් ලැබිය යුතු බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් රජයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාටත්, මරණයට අදාළ අනෙකුත් රස පරීක්ෂක වාර්තා කඩිනමින් නිකුත් කරන ලෙස දන්වමින් රජයේ රස පරීක්ෂකවරයාටත් සිහි කැඳවීමේ ලිපි නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව ලබන ජූලි මස 22 වනදා නැවත කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ මතභේදාත්මක ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබුණා.

මෙම ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන පුළුල් විමර්ශන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

පසුව කොළඹ අධිකරණය මඟින් ඔහුට ඇප නියම කෙරුණු අතර ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපකරුවන් මුදලට ලබාගත් පුද්ගලයන් බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට පෙන්වා දීමත් සමඟ  ඔහු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බව නියම වුණා.

ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ පදනම මත කපිල චන්ද්‍රසේනව වහාම නැවත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

එම වරෙන්තුව නිකුත් කර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ තාවකාලික ලැගුම්හලක  එනම් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට අනුබද්ධ කොටසක උළුවස්සක එල්ලෙමින් තිබූ ඔහුගේ සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර පොලිසිය විසින් මෙය අධිකරණයට වාර්තා කරනු ලැබුවේ සැකකටයුතු මරණයක් ලෙසයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading