දිට්වා සුළි කුණාටු ආපදා සහන කටයුතු සඳහා පනවා මේ දක්වා මාසිකව දීර්ඝ කරන ලද හදිසි නීතිය ආණ්ඩුව යළි දීර්ඝ නොකරන බව පවසා ඇත්තේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී ප්ලස් බදු සහනය ඉදිරියේදී සමාලෝචනය කිරීමට නියමිත නිසා බව වාර්තාවේ.
හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමති බිමල් රත්නායක ජුලි 01 දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසූ අතර අවසාන වරට හදිසි නීතිය ආණ්ඩුව දීර්ඝ කරනු ලැබුයේ මැයි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදිය. ඒ සඳහා හේතු වශයෙන් සඳහන් කර තිබුනේ රටේ මහජන ආරක්ෂක හදිසි තත්වයක් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා එය පනවන බවයි.
GSP+ වෙළඳ සහනය ලබා දෙන්නේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය මත පදනම් වූ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය මතය.
රටවල් විසින් මෙම සම්මුතීන්ට අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳව යුරෝපා කොමිසම සිදු කරන අඛණ්ඩ නිරීක්ෂණවලදී, ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට “බරපතළ සහ ක්‍රමානුකූල අසමත් වීමක්” (serious and systematic failure) ඇති බව නිගමනය කළහොත්, අදාළ වෙළඳ සහන අත්හිටුවීම සිදුවිය හැක.
ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අනුකූලව කටයුතු නොකිරීම පිළිබඳව මතු වූ ගැටලු හේතුවෙන් 2010 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාවට වරක් GSP+ සහන අහිමි විය. නමුත් ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිඥා දීමෙන් පසු 2016 ජූලි මාසයේදී GSP+ සඳහා යළි ඉල්ලුම් කිරීමෙන් අනතුරුව, යුරෝපා කොමිසම එය අනුමත කළ අතර 2017 මැයි 19 වැනි දින යළිත් එම වෙළඳ සහන ලබා දෙන ලදී.
