භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට?

ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයෙන් විදේශ ණය වාරිකයක් ගෙවීම සඳහා වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක්, හැකර්වරයෙකුගේ ගිණුමකට බැර වී ඇති බවට සැක කෙරෙන බරපතළ මූල්‍ය වංචාවක් අනාවරණය වී තිබේ.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් නිදහස් නීතිඥ සංගමය විසින් අද (22) පාර්ලිමේන්තු කථානායකවරයා වෙත ලිපියක් ද යොමු කර ඇත. මේ පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස අවධාරණය කරන ඔවුන්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හෝ වෙනත් සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසද කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වාර්තා වන අන්දමට, 2025 සැප්තැම්බර් මාසයේදී ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22.9ක විදේශ ණය වාරිකයකින් කොටසක් ලෙස මෙම ඩොලර් මිලියන 2.5ක මුදල භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇත්තේ පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවලදීය.

කෙසේ වෙතත්, අදාළ ණය හිමි පාර්ශවය වෙත එම මුදල ලැබී නොමැති අතර, එය සයිබර් ප්‍රහාරකයෙකු විසින් ලබා දුන් ව්‍යාජ ගිණුම් අංකයකට බැර වී ඇති බවට සැක කෙරේ.

මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් රජය දැනටමත් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඒ යටතේ භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස වැඩ තහනමට ලක්වූවන් අතර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සහ පරිගණක අංශ ප්‍රධානියා ද වන බව වාර්තා වේ.

මීට අමතරව, මෙම සිදුවීම පිළිබඳව පුළුල් තාක්ෂණික විමර්ශනයක් සිදු කිරීම සඳහා පසුගිය මාර්තු 24 වන දින විශේෂ පරීක්ෂණ කමිටුවක් ද පත් කර ඇති අතර, එමගින් සිද්ධියට අදාළ මූල්‍ය හා තාක්ෂණික දෝෂයන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

විශේෂම කරුණ නම්, මෙම ගෙවීම සිදු කිරීමට ප්‍රථම අදාළ බැංකු ගිණුම සම්බන්ධයෙන් සැකයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාරයට පූර්ව දැනුම් දීමක් කර තිබූ බවට ද තොරතුරු වාර්තා වීමයි. එවැනි අනතුරු ඇඟවීමක් මධ්‍යයේ මෙම මුදල නිදහස් වූයේ කෙසේද යන්න පිළිබඳව දැන් දැඩි අවධානයක් යොමුව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන ලෙසත්, වගකිවයුතු ඉහළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විවිධ සිවිල් සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් රජයෙන් ඉල්ලා සිටියි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading