හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අද (16) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහුගේ පිළියන්දල පිහිටි නිවසේ සඟවා තිබූ ටී-56 ගිනිඅවි උණ්ඩ සහ අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගැනීමත් සමඟය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන පරිදි, කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම වැටලීමේදී හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී T56 උණ්ඩ 221ක්, T56 මැගසින් 2ක්, 7.2 උණ්ඩ 31ක්, 0.2 උණ්ඩ 103ක් සහ චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂාවලදී එම නිවසේ තිබී ලියාපදිංචි ගිනිඅවි 4ක් සොයාගැනීමට හැකිවී තිබේ. ඉන් එක් ගිනිඅවියක් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නමට ලියාපදිංචි කර ඇති අතර, අනෙක් ගිනිඅවි 3 ඔහුගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර ඇති බව අනාවරණය වී ඇත. මෙලෙස සොයාගත් ගිනිඅවි අතර Shotgun වර්ගයේ ගිනිඅවි 2ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි 2ක් වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.
අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇති අතර, එම අවි ආයුධ ළඟ තබා ගැනීමට හේතුව සහ ඒවා ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පැවසේ.
ඔහු අද දිනයේ හෝ හෙට (17) දිනයේ කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම අවි ආයුධ සන්තකයේ තබා ගැනීමට හේතුව සහ ඒවායේ මූලාශ්‍ර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
