මෙතෙක් කාලයක් මෙරට රාජ්‍ය නායකයන් සිය පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් පිරිවරාගෙන, දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් සහිතව නිල නිවසේ පවත්වන ලද සාම්ප්‍රදායික අවුරුදු සැමරුම් රටාව වෙනස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර පියවර ගෙන තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ කෙසේද යන්න පිළිබඳව විපක්ෂයේ මෙන්ම බොහෝ දෙනා අවධානයෙන් බලා සිටි කාරණයකි. ඔහු සම්ප්‍රදායික ලෙස මහින්ද රාජපක්ෂලා මෙන් පවුල් පිටින් මාධ්‍ය සංදර්ශන සහිතව අවරුදු සමරන්නේද යන්න සැමගේ කුතුහලයට හේතු වී තිබුණි. නමුත් ජනපති මාධ්‍ය අංශය වෙනස්ම ආකාරයේ ප්‍රවෘත්තියක් පළ කර තිබේ.
විපක්ෂය සහ දේශපාලන විචාරකයන් බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගේ පළමු අවුරුදු සැමරුම කෙබඳු වේදැයි විපරමෙන් පසුවූ පසුබිමක, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඔහු මෙවර අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ සාමාන්‍ය ජනතාව සමීපයට යාම බවයි.
විපතට පත් නිවසක අවුරුදු උදාව
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක් විය.
පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකකි. එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස හැට හයකටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර තිබේ.
ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය. එමෙන්ම ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබපැතුම් එක් කර ඇති බව පැවසේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, අලුත් අවුරුද්ද යනු හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් පමණක් නොව, භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකව ද අලුත් වීමට ලැබෙන අවස්ථාවක් බවයි.
භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි.
පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සිදු කෙරේ. මෙම සංස්කෘතික බෙදාහදාගැනීම ලෝකය අභිමුවේ අප රටෙහි අනන්‍යතාව මෙන්ම අපගේ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම මනාව නිරූපණය කරන්නකි.
රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත හැක්කේ මෙම අගනා සංස්කෘතියත්, විශිෂ්ට ඓතිහාසික උරුමයත් සමඟින් බව අප තරයේ විශ්වාස කරමු. ඒ අනුව අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එම වටිනා උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව මෙහිලා සිහිපත් කළ යුතුය.
එමෙන්ම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර-වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාවෙන් පිළිබිඹු කෙරෙන්නේ සාමුහිකත්වය අගයන අනෙකාගේ මෙන්ම සොබාදහමේ පැවැත්මට ගරු කරන සහකම්පනීය අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමයි. අලුත් අවුරුද්දේ චාරිත්‍ර-වාරිත්‍රවලින් ප්‍රකට වන එම සාමුහිකත්වයේ ගුණාංග සහ හරයන් එම දින කිහිපයේ පමණක් නොව මුළු වසර පුරාම අපගේ චර්යාවෙන් නිරූපණය විය යුතු යැයි මම සිතමි.
පසුගිය වසරේ මුහුණ පෑ මෑතකාලීන විශාලතම ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ අප ලොවට පෙන් වූ අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්දයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට ඇවැසි වැඩපිළිවෙළද රජය විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබේ.
රටක් ලෙස එක්ව මෙම අභියෝග ජයග්‍රහණය කිරීමේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ප්‍රකට කෙරෙන සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට කැප වෙමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලමි.
යනුවෙන් ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.
සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරුන් අවුරුදු දිනවලදී සිය දේශපාලන බලය සහ පවුලේ සමීපත්වය ප්‍රදර්ශනය කරන ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරියද, අනුර කුමාර දිසානායක මහතා මෙලෙස ආපදාවට ලක්ව නැගී සිටින සාමාන්‍ය ජනතාව අතරට යාම සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
මෙය දේශපාලන ප්‍රභූ පන්තියේ සම්ප්‍රදායන් බිඳ දමමින්, රාජ්‍ය නායකයා යනු ජනතාවගෙන් වෙන්වූ අයෙකු නොව ජනතාව අතරම සිටින අයෙකු බව තහවුරු කිරීමට ගත් උත්සාහයක් ලෙස බොහෝ දෙනා අර්ථකථනය කරති. කෙසේ වුවත් මෙය මහා පොළවේ යථාර්තය කිරීම උදෙසා ජනාධිපතිවරයා මෙවැනි ක්‍රියාවලින් ඔබ්බට ජනතාවගේ දේශපාලනික සවිඥානික බව වර්ධනය උදෙසා සහ ජනතාවට මීට වඩා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් උදෙසා කටයුතු කළ යුතුව ඇත එය ප්‍රර්ථනා වලින් ඔබ්බට සිදු වන මහා පෙරළියක් විය යුතුය.
එය IMF සහ ව්‍යාපාරික පැලැන්තියේ අරමුණු සහ සිහින වලින් ඔබ්බට ගිය මේ රටේ ජනතාවගේ සුබ සිහින ඉටු කරන්නක් විය යුතුය.
