ධම්මිකලාගේ සමාගමට ටෙන්ඩරය දෙන්න බලපෑම් කළාද? හඩපටය ගැන සීඅයිඩී පැමිණිල්ලේ පසුබිම් කතාව!

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ල සිදු කර ඇත්තේ මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති ට්‍රයිඩන්ට් කෙම්ෆර් සමාගමට නිකුත් කළ දිගුකාලීන ගල් අගුරු ටෙන්ඩරය නොව, එය අසාර්ථක වීමෙන් පසු ඉදිරිපත් කල දෙවැනි කෙටිකාලීන ගල් අගුරු ටෙන්ඩරයේදී වංචාවක් සිදුව ඇති බව චෝදනා කරමිනි.

පැමිණිල්ලේ මෙසේ සදහන්ය.

ගල්අඟුරු ටෙන්ඩරය ලබාදීමේදී සිදුව ඇති බව කියන දූෂණ අක්‍රමිකතා සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන හඬපටය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම.

ලක්විජය බලාගාරය සඳහා 2026 වසරේදී ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාව මඟින් බරපතල මූල්‍ය අක්‍රමිකතා රැසක් අනාවරණය කර ඇත.

එමෙන්ම, මෙම ටෙන්ඩරය ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා දින වකවානු වෙනස් කිරීමට සහ බලපෑම් කිරීමට අදාළ වන බව කියන හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ වී තිබේ.

මෙම වංචාව මඟින් රජයට රුපියල් මිලියන 2,237 කට අධික මූල්‍ය අලාභයක් සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් වන අතර, අදාළ හඬපටය මඟින් මෙහි පිටුපස සිටින දේශපාලන හස්තයන් පිළිබඳව ද කරුණු අනාවරණය වේ.

එබැවින්, මෙම හඬපටයේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කරන ලෙසත්, මෙම මහා පරිමාණ ගල්අඟුරු වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙසත් අපි මෙයින් ඉල්ලා සිටිමු.‘

පැමිණිල්ල ඉදිරිපත් කරමින් මුජිබුර් රහුමාන් මහතා මෙසේ පැවසීය.

“යම් හඬපටයක් නිකුත් වෙලා තිබෙනවා. ඒක ඇහුවාම අපිට තේරෙනවා එතනත් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ජනාධිපතිවරයාගේ ළඟම ඉන්න හිතවතෙක්ට මේ ටෙන්ඩරය ලබා දෙන්න ඕනේ, ලබා දිය යුතුයි කියන සාකච්ඡාවක් සම්බන්ධව මේ හඬපටය නිකුත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි අපි අද ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා මේ ඕඩියෝ එක සම්බන්ධව යන මේ සාකච්ඡාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේ ඕඩියෝ එකේ යන සාකච්ඡාවෙදි ජනාධිපතිතුමාගේ නම එනවා ජනාධිපතිතුමාගේ ළඟම ඉන්න ව්‍යාපාරිකයින්ගේ නම් එනවා මේක තුළත් පැහැදිළිවම වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා.”

‘මට දැන් පොරොන්දුවෙනවා අද දිනය දාලා හාඩ් කොපිය ගේනවා කියලා.‘ යනුවෙන් මයිකල් නමැත්තෙකුට ඇමතුමේ සිටින එක් අයෙකු කියන අයුරු හඩපටයේ ඇත. හඩපටයට අනුව තිදෙනෙක් අතර මෙම ඇමතුම හුවමාරු වන අතර එක් පුද්ගලයෙකු තවත් දෙදෙනෙකුට දෝෂාරෝපණය කරන අයුරු හඩපටයේ ඇත.

‘මම බේරන්නෙ කාවද දන්නවද? ජනාධිපතිතුමාවයි, ධම්මික මහත්තයාවයි මොහාන් මහත්තයාවයි තමයි මම බේරන්නේ. පව්නේ ඒගොල්ලෝ. ඔයාගෙත් යුතුකමක් තියෙනවා රත්තරන් මල්ලි. ඕක කරන්න එපා.‘

‘මම කියන්නේ කොහොමහරි හෙට උදේ නවයයි පනස්පහ වෙනකොට මට හාඩ් කොපි එක තියෙන්න ඕනෑ අද දිනය දාලා.‘

යන කොටස් දෙක මෙම හඩපටය ගැන ආන්දෝලනයක් ඇති වීමට ප්‍රධාන හේතුව වී තිබේ.

Taranjot Resources (Pvt) Ltd සමාගමට මෙම ගල් අඟුරු ටෙන්ඩරය පිරිනැමීමට තීන්දු කර තිබුණේ ඒ වන විට දිර්ඝකාලීන ගල් අගුරු සැපයීමේ ටෙන්ඩරය හිමිව සිටි Trident Chemphar Limited සමාගම තමන් එකඟ වූ පරිදි ගල් අඟුරු තොග සැපයීමට අපොහොසත් වීම නිසාය.

ඒ අනුව බලාගාරයට අවශ්‍ය ගල් අගුරු හිඟවීමේ බරපතල අවදානමක් මතු විය. එමෙන්ම ට්‍රයිඩන්ට් සමාගම ලබාදුන් ගල් අගුරුවල ප්‍රමිතිය බාල බවටද චෝදනා එල්ල වී තිබුණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ක් එනම් නැව්ගත කිරීම් පහක් ක්ෂණික ප්‍රසම්පාදන (Spot Tender) පදනම යටතේ ලබා ගැනීමට තීරණය කළේය. මේ සදහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ 2026 ජනවාරි 23 දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හරහාය.

මෙම හදිසි මිලදී ගැනීම සඳහා වන මූලික අනුමැතිය ලබා ගැනීම පිණිස අදාළ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට හිමි විය. බලාගාරය වසා දැමීමට සිදුවුවහොත් සිදුවන දැවැන්ත ආර්ථික පාඩුව වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ ලෙස පෙන්වා දී තිබුණි.

ඒ අනුව ලංකා ගල් අඟුරු සමාගම විසින් ඉතා කෙටි කාලසීමාවක් තුළ ලංසු කැඳවීම් සිදු කළ අතර, එහිදී සමාගම් කිහිපයක් ඉදිරිපත් වී තිබුණද අවසානයේදී Taranjot Resources (Pvt) Ltd සමාගම තෝරා ගැනීමට පියවර ගෙන ඇත. 2026 මාර්තු 18 වන දින මෙම සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව නිල වශයෙන් පිරිනමන ලද්දේ මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 142 ක මිලකටය.

කෙසේ වෙතත්, මෙම තේරීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව මගින් බරපතල නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කර තිබේ. විගණන වාර්තාවේ 6.3 ඡේදයට අනුව, ටෙන්ඩරය ලබා දීමේදී සලකා බැලිය යුතු මූලික සුදුසුකමක් වූයේ අදාළ සමාගම ලියාපදිංචි වීමට පෙර ගතවූ මාස 36 ක කාලය තුළ නියමිත ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු සැපයීමේ පළපුරුද්දක් තිබිය යුතු බවයි. නමුත් Taranjot Resources සමාගම තාපජනන අගය (GCV) 5900 kcal/kg හෝ ඊට වැඩි ගල් අඟුරු සැපයූ බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොතිබියදීත් ඔවුන්ව තෝරා ගැනීම ගැටලු සහගත බව විගණනයේදී අනාවරණය වී ඇත.

සියලු ගල් අගුරු තොග ලංකාවට අවශ්‍ය ප්‍රමිතිය වන 5900 අගයට වඩා අඩුය

ඒ අනුව ලංකාවට එක් සැපයුම්කරුවෙකු නියමිත ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරු සපයා නොතිබීම නිසා, විදුලි අර්බුදයක ආසන්නයට පැමිණ තිබියදීම ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිව ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරු ආනයනය නොකරන තවත් සැපයුම්කරුවෙකුට ටෙන්ඩරයක් ලබා දීම බරපතල ගැටලුකාරී තත්වයකි.

මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී ලංසු කැඳවීමේ දින වකවානු වෙනස් කිරීම් ද සිදුව ඇති බව දැන් අලුතින් මතුව ඇති චෝදනාවයි. මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව චෝදනා ඉදිරිපත් කර තිබේ.

මෙම Taranjot Resources සමාගමේ දේශීය නියෝජිතයා හේලීස් සමාගම බවට චෝදනා එල්ලවෙයි. ඒ අනුව ධම්මික පෙරේරා සහ මොහාන් පන්ඩිතගේ වැනි ව්‍යාපාරිකයන්ගේ නාමයන් මෙම දෙවැනි ටෙන්ඩරයට ගෑවී තිබේ.

Author

1 Comment

  • රෙඩ්ඩි ගේ ඉතිහාසය මෙහිදී ඔහු වැරද්දක් කලාද නැද්ද යන්න තීරණය කිරීමට අදාළ නැහැ. ඔවුන් වැරද්දක් කලා නම් දඬුවම් ලැබිය යුතුයි. ඔබගේ වගකීම වැරදිකරුවන් සාක්ෂිම සහිතව හෙළිකිරීමයි. ලංකාවේ ජනතාවට රෙඩ්ඩිව හෝදන්න ඕනෑකමක් තියෙනවා යැයි සිතීම මෝඩ කමක්.
    ඔබත් මෙහිදී, ඉතා අලජ්ජී විදියට, සමහර කරුණු සඟවලා කතාව බාගෙට කියනවා. දැන් වටේ යන්නේ නැතිව රජය මෙයට සම්භන්ධ වේ නම් එය පෙන්වන්න. ඔබගේ මේ දුර්වල විවේචනය විපක්ෂයේ දුර්වල කරුණු දැක්වීම් වලට වඩා වෙනස් වෙන්නේ නැහැ. සද්දේ විතරයි.

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading