පොඩි ලැසීව ගාල්ලට බාරදෙයි!

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ අද (27) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

වට්නිව්ස් (WhatNews) වෙබ් අඩවිය පෙර දින හෙළිදරව් කළ ආකාරයටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මොහුව මෙරටට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන යානයෙන් අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ සැකකරු, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන විත් තිබේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඝාතන සිද්ධි රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි මොහු, වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

“පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024,2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ ව‌‌ගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති මෙරටට රැගෙන එන්නට හැකි වුණා, අද (27) දින රැගෙන ආ සැකකරු සමඟ 14 දෙනෙක්. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව  එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන්, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත්වීම මත ඒ ඒ  රටවල්වල තිබෙන විශ්වාසය මත පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිමත්වීම මත මෙම සැකකරුවන් අපට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන 89ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා. 2026 වසරේදී මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සහයක් දරනවා.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 89ක් ලබාගෙන ඇති බවයි. පවතින ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2026 වසර තුළ මෙම සැකකරුවන් සියලු දෙනා මෙරටට ගෙන්වා නීතිය හමුවට පැමිණවීමට උපරිම උත්සාහයක් දරන බවද ඔහු අවධාරණය කළේය.

(ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදා සංස්කරණය කරන ලද්දකි.)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading