පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට අදාළව දෙමටගොඩ මහවිල ගාඩ්න්ස් නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගත් රන් භාණ්ඩ හා මැණික් ඇතුළු දේපළ, සතියක් ඇතුළත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කළේය.
මෙම නියෝගය ඇතැම් කණ්ඩායම්වලින් ආණ්ඩුවට එරෙහි මතයක් ගොඩනැංවීමට යොදාගෙන තිබුණි. විශේෂයෙන් හිටපු බුද්ධ අධයක්ෂ තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි මතයක් ගොඩනැංවීමට මෙම සිදුවීම යොදාගෙන තිබුණි. සලේ අත්අඩංගුවට ගනිද්දී ඊබ්‍රාහීම්ට රත්‍රන් භාණ්ඩ ලබාදුන් බවට ප්‍රචාරය කර තිබුනි.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ එම භාණ්ඩ තමන්ට අයිති බවට කරුණු දක්වමින් ඉෆ්ලාල් අහමඩ් යන අය විසින් නීතිඥවරයෙකු මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. ඉෆ්ලාල් මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුත්‍රෙයකු වන නමුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ඔහුට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාවක් මීට පෙර ආණ්ඩු යටතේ පවා ගෙන නොමැත.
සමාජ මාධ්‍ය ජාලාවල මෙම රන් භාණ්ඩ මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් (ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජාතික ලැයිස්තු අපේක්ෂක) වෙත මුදා හැර ඇති බවට පළවන වාර්තා සාවද්‍ය බව අධිකරණ කරුණු මගින් තහවුරු වේ.
රන් භාණ්ඩ නිදහස් කර ඇත්තේ ඊබ්‍රාහිම්ට නොව, ඔහුගේ පුතෙකු වන ඉෆ්ලාල් අහමඩ් වෙතය. ඔහුට එරෙහිව මෙතෙක් චෝදනා ඉදිරිපත් වී නොමැති අතර, අදාළ භාණ්ඩ තමන් සතු බව ඔහු අධිකරණයට පවසා තිබුණි.
පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් CIDයට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබුණද, ඔවුන් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා නොමැත. අධිකරණ නියෝග නොසලකා හැරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා CIDයට දැඩි ලෙස අවවාද කළ අතර, නියෝගය ක්‍රියාත්මක නොකළහොත් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරන බවද අවධාරණය කළේය.
සමාජ මාධ්‍ය සටහන් මගින් පෙන්වා දෙන පරිදි, ඊබ්‍රාහිම් නිදහස් කර ඇති බවට පැතිරෙන මතයද වැරදි සහගතය. ඔහුට ඇප ලැබුණේ 2022 මැයි මාසයේදී ඇප ලැබුණු නමුත් තවම චෝදනාවලින් නිදහස් කොට නැත. ඔහුට ඇප ලැබෙන විට ජනාධිපති වූයේ ගෝඨාභය රාජපක්ෂ බව සටහන් කර තැබිය හැක.
ඔහුට සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ් හා මොහොමඩ් ඊබුහිමි ඉස්මයිල් අහමඩ්ට එරෙහිව HC 3072/21 යටතේ කොළඹ මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 2.1(අ), 3(අ), 5(අ) වගන්ති සහ දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ (තොරතුරු දැනගෙන එය සැඟවීම සම්බන්ධයෙන්) නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
අතුරු කරුණක් වන්නේ ඊබ්‍රාහිම් වෙනුවෙන් දැනටත් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා වීමය. ප්‍රේමරත්න මහතා රනිල් වික්‍රමසිංහගේද නීතිඥයා විය.
මෙම සිද්ධියට අදාළව ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර, ඒ එච් එම් රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන සැකකරුවන් දැනට ඇප මත මුදා හැර ඇත. ඔවුන් අද දින විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
අදාළ රන් භාණ්ඩ මේ වන විට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බවත්, ඒවා සතියක් ඇතුළත ඉල්ලුම්කරු වෙත මුදා හැරිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා අවසන් වශයෙන් නියෝග කළේය. නීතිපති උපදෙස් සඳහා නඩුව ජුනි මස 17 වනදා නැවත කැඳවීමට නියමිතය.
